මනම්පිටිය නිමල් ජයරත්න –
කාර්යක්මතාවයෙන් ඉහළ, අක්කරයක් සී සෑම සඳහා ට්‍රැක්ටරයකට වැය කරන්නට සිදුවන ඩීසල් වියදම සියයට හැත්තෑ පහකින් අඩු කරන වෙනත් විශාල වාසි රැසක් ද ලබාගත හැකි යකඩ නගුලක් නිර්මාණය කිරීමට වැලිකන්ද දිඹුලාන ගම්මානයේ තරුණයෙකු සමත් වී ඇතැයි වාර්තා වේ.
පැයක පමණ කාලයකින් අඩු ඉන්ධන ප්‍රමාණයක් ට්රැක්ටරය වෙනුවෙන් වැය කර අක්කර දෙකහමාරක් වී වගාවට අවශ්‍ය බිම් සැකසීමට ඔහු නිර්මාණය කර ඇති යකඩ නගුලෙන් හැකියාව පවතින බව ඔහු පවසයි.

අනෙකුත් බෝග සදහා ද බිම් සකස් කිරීමට හැකිවන පරිදි තල පහකින් සමන්විත යකඩ නගුලක් නිර්මාණය කර ඇත්තේ වැලිකන්ද සිංහපුර, දිඹුලාන,අංක 300 ලිපිනයේ පදිංචි 24 වියති එල්.ඩබ්ලිව්.ආර්.එම්. සසිඳු මල්ශාන් රාජකරුණා තරුණයාය.

වැලිකන්ද මහ විද්‍යාලයේ 11 වසරේ වසර දක්වා අධ්‍යාපනය හදාරා ඇති සසිඳු මල්ශාන් රාජකරුණා මේ වනවිට ගම්මානයේ තවත් තරුණයෙකුගේ සහයෝගයෙන්, මවුපියන්ගේ උදව් උපකාර මත නිවසේ එම යකඩ නගුල් නිර්මාණය කරමින් සිටින්නේය.
කුඹුරෙහි ඕනෑම මුලක් තලයකට හසු වූ විට එම තල ස්වයංක්‍රීයව ගැලවෙන් අතර මෙම තල පහෙන්ම ඉතා ඉක්මනින් කුඹුරෙහි සී සෑම් කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවත් නියරවල් අසල වුව ද සීසෑමට මෙමගින් හැකියාව පවතින බවත් ගැඹුරට බිම් සකස් කිරීම හේතුවෙන් වැඩි අස්වැන්නක් මෙම නගුලෙන් සී සෑමේදී ලබාග ගත හැකි බවත් .ද සසිදු මල්ශාන් රාජකරුණා සඳහන් කරයි,
සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරක් සීසෑමට ඩීසල් ලීටර් හැටක් අවශ්‍ය වුවද මෙම නගුල මගින් ඉතා කෙටි කාලයක් තුළ සීසෑමට හැකි නිසා වැයවන්නේ වන්නේ ඩීසල් ලීටර් 15 ක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

ඉන් දිනකට අක්කර 50 කට වැඩි භූමි ප්‍රමාණයක් සීසෑමට හැකියාව පවතින බවත්, යම් කෙනෙකු බඩඉරිඟු, මූං ඇට වගාව ඇතුළු පාත්ති වර්ග සකසා අතිරේක බෝග වගා කරන්නේ නම් ඒ සඳහාද මෙම යකඩ නගුල ප්‍රයෝජනවත් වන බව මල්ශාන් රාජකරුණා තරුණයා කියයි.
මල්ශාන් රාජකරුණා මේ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස කීවේය
“මම නිර්මාණය කරපු යකඩ නගුල තල පහකින් සමන්විත වෙනවා, ඒ නිසා එකවර විශාල බිමක් සීසෑමට හැකියාව පවතිනවා.“
“ඒ වගේම අක්කර දෙකහමාරක් හාගන්න ඩීසල් ඕනේ වෙන්නේ ලීටර් පහළොවක් පමණ විතරයි. අඩු කාලයක් තුළ අක්කර දෙකහමාරක බිම් හාගන්න හැකියාව තිබෙනවා. පැය එක හමාරක් ඇතුළත හාගන්ඩ පුළුවන්. මේකට අමතරව ස්ප්ර්රින්, ග්‍රීස්, ඔයිල් ඕන වෙන්නෑ. ඒ නිසා ගොවියාට ඒ මුදලත් ඉතිරියි.“
“ඒ වගේ මේ නගුලේ තල අවශ්‍ය පරිදි ගොවියාට පහසුවෙන් ඉවත් ගන්නත් පුළුවන්, ගොවියෙකුට අතිරේක බෝගවගා කරන්න බීම් සකසාගන්නා, කානු සකසා ගන්නත් මේ නගුල භාවිතා කරන්න පුළුවන්. නියරවල් අයිනේ හාන්න පුලුවන් නිසා නියරවල් රහින්න යන වියදමත් ඉතිරියක් තියෙනවා ගොවියාට.“
“මට මගේ තාත්තා, අම්මා, මේකට ගොඩක් උදව් කරනවා, මේකට බොක්ස් බාර් ගොඩක් ඕනේ, අහක දාන යකඩ කෑලි මම මේකට ප්‍රයෝජනය ගන්නවා, පොලොළොන්නරුවේ යකඩ බොක්ස් බාර් හිඟයි, මේක තවදුරටත් දියුණු කරගන්න රජයෙන් උදව් කළොත් මට තව තරුණයන් ගොඩකට රැකියාවන් දෙන්නත් පුළුවන්.“
“ කුඹුරේ සීසාන ගමන් නියරවල් සුද්ද වෙන්ඩ යන්ත්‍රයකුත් හදන්ඩ මගේ ලොකු උත්සාහයක් තියෙනවා. මේ නිර්මාණය දියුණු කරන්න අත දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා…“ යැයි සසිදු මල්ශාන් රාජකරුණා තරුණයා වැඩිදුරටත් කීවේය.







