පසුගිය මස 12 වැනිදා කාන්තා විරෝධතා ව්‍යාපාරයක් අතර දී කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ගෙලෙන් අල්ලා ග්‍රහණය කරගෙන බැණ වදිමින් තල්ලු කළ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පින්ටෝ එම නිලධාරීනියන්ට කිසිදු ආකාරයක හිංසාවක් නොකළ බවත් ඔහු කර ඇත්තේ එම කාන්තා නිලධාරිනියන් දෙපළ නිසි තැන ස්ථාන ගත කිරීමක් යැයි තමන් සලකන බවත් හිටපු පොලිස්පතිවරයෙක් මෙන්ම ජාතික පොලිස් කොමිසමේ වත්මන් සභාපති ද වූ චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි
ඔහු මේ බව පවසන්නේ The Morning පුවත්පතට මෙම සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමිනි. චන්ද්‍රා ප්‍රනාන්දු ඒ සම්බන්ධව පවසන්නේ මෙවැන්නකි.
“එහිදී කාන්තා විරෝධතාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ අතර පිරිමි පොලිස් නිලධාරීන්ට ඔවුන් හැසිරවීමට අවසර නැහැ. එබැවින් කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු කැඳවා තිබූ අතර ඔවුන් සිටියේ කොහේද? ඔවුන් පිටුපස සිටගෙන සිටියත් ඔවුන් රාජකාරී කළ යුත්තේ ඉදිරියෙන්.
පසුව කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට නියමිත වේලාව පැමිනි විට කාන්තා නිලධාරිනියන් එහි නොසිටි නිසා ස්ථානාධිපතිවරයා විසින් ඔවුන්ව ඉදිරියට තල්ලු කළා.
මෙය හිරිහැරයක් වන්නේ කෙසේද? හිරිහැර කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, ඔවුන් තල්ලු කළ යුතු යැයි මා සිතන්නෙ නෑ… නමුත් එය හිරිහැරයක් ලෙස ද මා දකින්නෙ නෑ, ”
බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුව පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපලට ගිය පිරිස අතර සිටි ශ්‍රී ලංකාවේ ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා ඔහුය.
ඒ පිළිබඳව ඡායාරූප සාධකත් සමග පලවූ පසු ඔහු කීවේ ගුවන්තොටුපලේ මහා කලබලයක් වැනි තත්ත්වයක් හේතුවෙන් එය කුමක් දැයි බැලීමට ගිය බවත් එවිට බැසිල් රාජපක්ෂ එහි සිටි බවත්ය.