තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමෙන් පසු ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන තුනක් ඇෆ්ගනිස්ථානයේ වැඩ නවතා තිබේ.
ඒ අනුව කෙයා ඉන්ටර් නැෂනල්, නෝවීජියින් රෙෆියුජී කවුන්සිල් සහ සේව්ද චිල්රන් යන සංවිධානයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අපගේ කාන්තා කාර්ය මණ්ඩලය නොමැතිව” වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි වනු ඇති බවයි.
මෙහිදී මෙම ආධාර කණ්ඩායම් ඉල්ලීම් කර ඇත්තේ කාන්තාවන්ට ඔවුන්ගේ ආයතන වෙනුවෙන් දිගටම සේවය කිරීමට ඉඩ දෙන ලෙසයි. කෙයා ඉන්ටර් නැෂනල්, නෝවීජියින් රෙෆියුජී කවුන්සිල් සහ සේව්ද චිල්රන් හි ප්‍රධානීන් පැවසුවේ ඔවුන්ගේ කාන්තා කාර්ය මණ්ඩලය නොවන්නට 2021 අගෝස්තු මාසයේ සිට දැඩි මානුෂීය අවශ්‍යතා ඇති මිලියන සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් වෙත සහන සැලසීමට නොහැකි වනු ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම මානුෂීය සම්බන්ධීකාරක රමිස් ඇලක්බරොව් පැවසුවේ තහනම ආපසු හැරවීමට එක්සත් ජාතීන් උත්සාහ කරන බවත් එය “සමස්ත මානුෂීය ප්‍රජාවටම අයහපත් බවත්ය.
ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය කාන්තා අයිතීන් ක්‍රමානුකූලව මර්දනය කරමින් සිටියි. එහි නවතම පියවර ලෙස රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නවතම ආඥාව නිකුත් වූයේ තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කර දින කිහිපයකට පසුවය.
තලේබාන් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දෙල් රහ්මාන් හබීබ් කියා සිටියේ විදේශ ආධාර කණ්ඩායම්වල කාන්තා සේවිකාවන් හිජාබ් පැළඳ නොසිටීමෙන් තලේබාන් සංවිධානය විසින් කාන්තා ඇදුම් සම්බන්ධයෙන් පනවා ඇති නීති කඩ කර ඇති බවයි.
ඒ අනුව මෙම නීති කඩිනමින් පිළිපදින්නේ නැති ඕනෑම සංවිධානයක බලපත්‍රය අවලංගු කරන බවට තලේබාන් සංවිධානය තර්ජනය කළේය.