දෝහා කටාර්වල සේවය කළ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. සිද්ධිය වාර්තා වන්නේ පසුගිය බදාදා ය.
දොහා කටාර්හි අල් – චාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට අනවසරයෙන් ඇතුළු වීමට ගිය තරුණ යුවලක් වැළැක්වීමට ගිය අවස්ථාවේ දී මෙම ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඝාතනය කර ඇත.
තරුණියක් සමග වාහනයකින් පැමිණි තරුණයා නිවාස සංකීර්ණයට ඇතුළු වීමට සැරසීමේ දී නිසි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔවුන් වැලැක්වීමට මෙම ආරක්ෂකයා කටයුතු කර තිබේ.
ඉන් කුපිත වූ තරුණයා ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පලා ගොස් ඇත. නිලධාරියා එම ස්ථානයේ දීම මියගොස් තිබේ. තවත් ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමට දොහා පුවත් සේවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කතා කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී තිබේ.
බදාදා සවස් වනතුරු විශාල පොලිස් භට පිරිසක් එම ස්ථානයේ සිටි බවත්, හෙලිකොප්ටර් යානා ඉහළින් සැරිසරනු දක්නට ලැබිණු බවත් දෝහා පුවත් සේවය වාර්තා කරයි.. එක් නිවැසියෙක් දෝහා නිවුස් වෙත පවසා ඇත්තේ පැය කිහිපයක් යනතුරු ඇයට නැවත නිවසට ඇතුළු වීමට ඉඩ නොදුන් බවයි.
දෝහා ප්‍රවෘත්ති මූලාශ්‍රයකට අනුව, ප්‍රහාරයෙන් පසු වහාම තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ අතර ඔහු මේ වන විට රජයේ අභිචෝදක කාර්යාලය වෙත යොමු කර ඇත. එම මූලාශ්‍රයම පුවත් සේවය වෙත පැවසා තිබුණේ ප්‍රහාරකයා භාවිතා කළ තුවක්කුව බලපත්‍ර රහිත එකක් බවත්, ඔහු එම අවිය ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවත්ය.
පරිශ්‍රයේ පදිංචිකරුවෙකුට අනුව, මියගිය ආරක්ෂක නිලධාරියා තිදරු පියෙකු වන අතර, ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වෙමින් තිබූ බැවින්, මේ වසර අගදී නැවත සිය මව් රටට පැමිණීමට නියමිතව තිබුණි.
ප්‍රදේශයේ ප්‍රජාව මේ වන විට වින්දිතයාගේ පවුලට ආධාර කිරීම සඳහා මුදල් රැස්කරමින් සිටී.
දෝහා හි තුවක්කු ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් අතිශයින් දුර්ලභ බැවින් බදාදා වෙඩි තැබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
මෙම සතිය මුලදී, ලොව පුරා නගර 459 ක් ආවරණය කරන ලද Numbeo හි “Crime Index by City 2022” වාර්තාවට අනුව, කටාර් අගනුවර අබුඩාබියෙන් පසු ගෝලීය වශයෙන් දෙවන ආරක්ෂිතම නගරය ලෙස ශ්‍රේණිගත විය.