යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයකින් අයියකච්චි සිට පරන්තන් දක්වා පැමිණි දමිළ යුවළක් ක්ලේමෝ බෝම්බයක් සමඟ අද (02) පෙරවරුවේ පරන්තන් හි දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බෝම්බ ප්‍රවාහනය ස්ටිට්සර්ලන්යේ සිටින කොටි සංවිධාන සාමාජිකයකු විසින් මෙහෙයවන ලද බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර ඔවුන්ගේ වැඩිදුර ප්‍රශ්න කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.
යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙම ක්ලෙමෝ බෝම්බය සඟවාගෙන පැමිණ ඇත්තේ රෙදි බුමුතුරුණු තොගයක් ඇතුළතය. මෙම බෝම්බය තවත් පුද්ගලයකුට ලබා දීමට ඔවුන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති අතර එය පරන්තන් සිට ත්‍රිකුණාමලයට වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් යැවීමට සැලසුම් කර තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම බෝම්බ ප්‍රවාහනය ස්විට්සර්ලන්තයේ සිටින කොටි සංවිධාන ක්‍රියාකරුවකු විසින් මෙහෙයවන ලද එකක් බවය. මෙම පුද්ගලයා 2014 වසරේ කොටි සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීම් කටයුතු කරමින් සිටියදී පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් සිදු කරන ලද වැටලීමකදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මිය ගිය ගෝපි හෙවත් පොන්නයියා සෙල්වනායගම් කජීපන් නැමැති කොටි සංවිධාන සාමාජිකයාගේ වැඩිමහල් සොහොයුරා බවටද අනාවරණය කරගෙන ඇත.
මේ පිළිබඳව මේ වනවිට තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.