දිනසේන රතුගමගේ –
යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයේ ඉදිකිරීම් සිදු කොට ඇත්තේ පෞද්ගලික ඉඩම් කැබලි කීපයක බවට චෝදනා කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF)මන්ත්‍රීවරු ප්‍රදේශවාසීන් කීපදෙනෙකු සමග 31 දා විහාරස්ථානය අසල විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යන දෙදෙනා සමඟ එම පක්ෂයේ ආධාරකරුවන් කීපදෙනෙකුම මෙම විරෝධතාවයට සහභාගී වූහ.
සෙල්වරාසා ගජේන්ද්‍රන් පසුගිය සතියේ මෙම ස්ථානයේ තවත් පිරිසක් සමග විරෝධතාවක නිරත වූ අවස්ථාවේදී පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ මහේස්ත්‍රත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නිදහස් කොට තිබුණි.
මෙම විරෝධතාවය දවස පුරාම පැවති අතර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධතාකරුවන් නැඟිට තිස්ස විහාරය දෙසට පැමිණීම වළක්වාලමින් කටයුතු කිරීම නිසා එම පිරිස බිම වාඩි වී විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවෝ කියා සිටින්නේ ඉතිහාසයේ තිස්ස විහාරයක් තිබූ බව නිලධාරීන් ප්‍රකාශ කළද වර්තමානයේදී එම විහාරස්ථානයේ බොහෝ ඉදිකිරීම් සිදු කොට ඇත්තේ යාපනයේ වැසියන්ට අයත් පෞද්ගලික ඉඩම් කීපයක නිසා වහාම එම අනවසර හා බලහත්කාර ඉදිකිරීම් ඉවත් කොට එම ඉඩම් යාපනයේ මුල් අයිතිකරුවන්ට ලබා දිය යුතු බවයි.