අසේල කුරුළුවංශ -
කඩුගන්නාව ප්‍රදේශයේ මත්කුඩු බෙදා හරින ප්‍රධාන ජාවාරම්කරු අද (22) අලුයම 1.00 ට පමණ යතුරු පැදියකින් ගොස් ගැනුම් කරුවන්ට ලබා ගැනීම සඳහා විදුලි කණු අසළ මත්කුඩු පැකට් සඟවමින් සිටියදී හෙරෝයින් ග්‍රෑම් 30 ක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විදුලි කණු අසළ මත්කුඩු පැකට් සැඟවීමෙන් පසු සැකකරු ඒවාහි ඡායාරූප ලබාගෙන ගැනුම් කරුවන්ගෙන් මුදල් ලැබුණු පසු අදාළ ඡායාරූප ඔවුන්ට යවා එම ස්ථාන වලින් මත්කුඩු පැකට් ලබා ගන්නා ලෙස දැනුම් දෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් හෙළිව ඇත්තේ එක් මතුකඩු පැකට්ටුවක් ඔහු රුපියල් 5000 ක මුදලකට අළෙවි කරන බවයි.
ඔහුගෙන් මත්කුඩු පැකට් ලබා ගන්නා පුද්ගලයින් ඒවා යළි කොටස් තුනකට වෙන්කර එක පැකට්ටුවක් රුපියල් 3000 ක මුදලකට අළෙවි කරන බවද පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
මත්කුඩු බෙදා හැරීම සඳහා යොදාගත් යතුරු පැදිය හා ජංගම දුරකතනයද පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, සහකාර පොලිස් අධිකාරි සෙනෙවිරත්නගේ උපදෙස් මත කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරින්ද්‍ර කළුගම්පිටිය ෙ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.







