එදා ජෙයරාජ් අමාත්‍යතුමාටත් විසදගන්න නොහැකි වූ ඉලක්කය වු ජනතාවගේ ජලසිහිනය කෙසේ හෝ කටාන ආසනයේ ජනතාව වෙනුවෙන් ඉටුකරදීමට හැකිවීම පිළිබදව තමන් බෙහෙවින් සතුටට පත්වෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කටාන දෙමංහන්දියේ පැවැති කටාන ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජෙයරාජ් අමාත්‍යතුමාගේ ඝාතනයෙන් පසු කටානේ ජනතාවගේ ඉල්ලීම අනුව දේශපාලනයට පිවිසි තමන්ට තිබූ ලොකුම අභියෝගය වූයේ කටානේ ජනතාවගේ ජල ප්‍රශ්නය විසදීම බවත් ජෙයරාජ් අමාත්‍යතුමා එම ප්‍රශ්නය විසදීමට මැදිහත්වී නතර වූ තැනින් යළි ගමන් අරඹන්න පැමිණි තමන්ට එම අභියෝගය ජයගැනීමට හැකිවූ බවත් දැන් එම ගමනේ අවසානයට පැමිණ ඇති සිතිවිල්ල තමන්ට ඇතිව තිබෙන බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කළාය.
කටාන ජල ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කිරීම සදහා විශාල කැපකිරීමක් කිරීමට සිදුවූ බවත් ඒ වෙනුවෙන් තමන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බවත් මෙහිදී සිහිපත් කල අමාත්‍යවරිය තමන් දේශපාලනය වෙත යොමුකිරීමට හේතුවක් වූ සංවේදී කරුණක් පිළිබදවද මෙහිදී සිහිපත් කළාය.
ජෙයරාජ් අමාත්‍යතුමාගේ දේහය රැගෙන නිවසට ගෙන එන අවස්ථාවේ රාජපක්ෂපුරය ප්‍රදේශයේ සිටි එක්තරා මවක් පෝසටර්යක් ප්‍රදර්ශනය කරමින් අනේ මැතිතුමනි අපේ ජල සිහිනය දැන් කවදා ඉටුවේද? යන්න සදහන් කරමින් හඩාවැටෙන අයුරු දැක තමන්ගේ සිත තවත් කම්පනයට පත්කල බව සදහන් කර සිටියාය.
කටාන ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 79ක් ඇති බවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොල පිහිටා තිබෙන අතර ලංකාවේ විශාලම නිදහස් ආයෝජන කලාපයද පිහිටා තිබෙන නමුත් කටානේ ජනතාව බොන්න වතුර නැතුව විශාල දුකක් විදපු ජනතාවක් නියග කාලයට බවුසර් එනතුරු මගබලාගෙන සිටි බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කර සිටියාය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියේ තමන්ගේ ආදරණිය සගයා වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මේ වෙලාවේ සිහිපත් කල යුතු බවත් ඔහු කටාන ආසනය නව මානයකට යොමුකල බවත් ඔහුගෙන් පසු එම කටයුතු ආපසු හරවන්නට නොදී ඉදිරියට ගෙනයන්නට එතුමාගේ මැතිණියට හැකිවී ඇති බව මෙහිදී සදහන් කරන ලදි.
කටාන ජල යෝජනා ක්‍රමය සදහා වෙන්වී ඇති මුළු මුදල රුපියල් මිලියන 13000ක් වන අතර ග්‍රාමසේවා වසම් 45ක් ආවරණය වන පරිදි උතුරු කුලුන බම්බුකුලියෙන්ද, මධ්‍යම කුලුන තිඹිරිගස්කටුව කුලුනෙන් සහ දකුණු කුලුන ආඩිඅම්බලම කුලුනෙන් යුක්ත ප්‍රධාන ජල කුලුනු 03කින් සමන්විත වන අතර එක් කුලුනක ජල මීටර් කියුබ් 2000ක ධාරිතාවයකින් යුක්ත අතර සමස්ත ධාරිතාව ජල මීටර් කියුබ් 6000කි. එම කුලුනු සදහා ජල සම්ප්‍රේෂණය කිලෝ මීටර් 12ක් වන අතර ජලය බෙදාහැරීම කිලෝ මීටර් 240ක ප්‍රදේශයක් ආවරණය කෙරේ. මෙමගින් ප්‍රදේශයේ 100,000කට වැඩිපිරිසකට සෙත සැලසෙයි.
මෙම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමග රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, නිමල් ලංසා යන මහත්වරු සමග ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්තුමා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු එක්වූහ.