-
මිල පාලනය ඉවත් නොකළොත් බෙහෙත් සමාගම් බෙහෙත් ගෙන්වීම නවත්වයි ලු… චන්න ඇමතිගේ යෝජනාවට එරෙහි වූ ඖෂධ නියාමන අධිකාරිය විය යුත්ත සහ සුද්දෙන් කියා දෙයි…
විදේශ විනිමය අර්බුදය මැද ඉහළ යන ඖෂධ මිල පාලනය කිරිම සඳහා මේ වනවිට ඉදිරිපත්ව ඇති විකල්ප වෙනුවට දැනට උපරිම සිල්ලර මිලක් සහිත ව මිල පාලනයක් යටතේ පවතින ඖෂධ වර්ග හැටක උපරිම සිල්ලර මිල සහ මිල පාලනය පිළිබඳව පවතින රෙගුලාසි ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ඉල්ලා ඇති බව එම අධිකාරියට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (25) අමාත්‍යවරයා ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ ප්‍රධාන විධායක නිලධාරියා ප්රමුඛ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි සේ අවධාරණය කර අත්තේ මෙම ඖෂධවල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට හෝ ලාබ ආන්තිකය සියයට 90ක සීමාව දක්වා ඉහළ දමන ලෙසය.
ඔහු එලෙස පවසා ඇත්තේ මේ වනවිට ඩොලරයේ අගය වේගයෙන් ඉහළ සහ පහළ යාම හමුවේ ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමෙන් වැලකී සිටියහොත දැඩි ඖෂධ හිඟයක් ඇතිවේය යන්න පෙන්වා දෙමිනි.
මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ යෝජනාව වී ඇත්තේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ සහ රටේ ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින දැඩි ආර්ථික අර්බුද හමුවේ ජනතාවට උපරිම ලාබදායී ලෙස ඖෂධ සැපයීම සඳහා සහ විදේශ සංචිත අරපිරිමැස්මෙන් ඒ සඳහා භාවිත කිරීමට පවතින විකල්ප කෙරෙහි අවධානය යොමු කළ යුතු බවකි.
ඒ අනුව ඔවුන් යෝජනා කර ඇත්තේ එකම ඖෂධයේ විවිධ සන්නාමවලින් ගෙන්වීම සීමා කිරීමකට ලක් කළ යුතු බවය. නිදසුනක් ලෙස එක් ප්‍රතිජීවක ඖෂධ වර්ගයක් වෙළෙඳ නාම 20කින් පමණ විවිධ සමාගම්වලින් ගෙන්වන පසුබිමක් තුළ එම ඖෂධ සංඛ්‍යාව අඩු කිරීමට ඔවුන් යෝජනා කර ඇත. ඊට අමතරව ඖෂධවල දැනට පවතින උපරිම මිල යම් සංශෝධනයකට ලක් කිරිමටද ඖෂධ අධිකාරිය යෝජනා කර ඇත.
මෙලෙස අමාත්‍යවරයාගෙන් යෝජනාව විරුද්ධ වී ඇති ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥයන් ඇතුළු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙවැනි මිල පාලනය ඉවත් කිරීමක් කළහොත් ඖෂධ සමාගම් හිතුමතයේ ඔවුන්ගේ ලාබ ආන්තික උපරිම කරගෙන සෙසු පාරිභෝගික භාණ්ඩ මේ දිනවල වැඩි කර ඇති ආකාරයෙන්ම කොල්ලකාරී ලෙස මිල වැඩි කරනු ඇති බව පෙන්වා දෙමිනි.
කෙසේ වුවද ඖෂධ නියමාන අධිකාරියේ නිලධාරීන්ගේ කරුණු දැක්වීම් හමුවේ අමාත්‍යවරයා සිය ඉල්ලීම යටපත් කරගෙන ඇති බව ඖෂධ අධිකාරියේ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.







