2004 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් ද ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති බවත්, ඊලඟ පාර්ලිමේන්තු වාරයේ දී ඔවුන් සම්බන්ධව හෙළිදරවු කරන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේය.
ඔහු කීවේ තමන් හෘදයාබාධයකට ලක්වී සිටිය දී තමන් බලන්නට පැමිණි ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයක් මත තමන්ට ජනාධිපති අරමුදලින් මුදලක් ලබා දුන්නා මිස තමන් ඒ සඳහා පෝරමයක්වත් පිරවූයේ නැති බවය.
මඩ ගසන්නට එන්නට සූදානම් නොවන ලෙස ඔහු ආණ්ඩුවට දන්වා සිටිමින් මෙසේ ද පැවසුවේය.
“2004 සිට 2010 දක්වා කාලය ඇතුළේ ඔය කියන මහත්තුරුත් සල්ලි අරන් තියනවා ජනාධිපති අරමුදලින්. ඊලඟ සතියේ පාර්ලිමේන්තුවේ දි මම හරියට කියලා දෙන්නම් කවුරු කවුරුද අරගත්තේ කියලා.”
“ඔය කියන යාලු මිත්‍රයො ඔක්කොම අරන් තියනවා. 2008 දි ඒ ගොල්ලන්ගේ 34 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවෙ. ඒ 34 දෙනා ගත්ත ඒවත් තියනවා. ඒවා දෙන්නේ නෑ දැන්. මේ කියන්නේ 2010 ඉඳලා ගත්ත කට්ටිය ගැන. 2004 සිට 2010 වනතුරු සමර අය හෘදයාබාධවලට සල්ලි අරන් තියනවා. පිළිකාවලට සල්ලි ගත්ත අය ඔතන ඉන්නවා. මම කියන්නම් ඒවා. ”
“මොකද හේතුව අපි මඩ ගහන්නේ නෑ. මඩ ගහන්න පටන් ගත්තොත් ඒ අය දැනගන්න ඕන අපි හොඳට පිඟන් හෝදලා තමයි පිඟානක් දෙකක් බිඳිලා තියෙන්නෙ කියලා. ඒ අය තව පිඟන් හෝදන්න ගත්තේ නෑ. දැන් ඒගොල්ල පිඟන් හෝදනවා. අලුතින්මනේ වැඩේ පටන් ගත්තේ. මෙච්චර කල් ඒ ගොල්ල කළේ පිඟන් හෝදපු අයට බැන බැන හිටියා.”
“ඒගොල්ලත් මනුස්සයොනේ. මනුස්සයො අතින් තමයි වැරදි වෙන්නේ. ” දයාසිරි ජයසේකර පැවසුවේ තමන් ප්‍රායෝගික මනුස්සයෙක් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, අගමැතිවරයාට, ජනාධිපතිවරයාට අදාල ගෞරවයක් සහිත වටපිටාවක් පැවතිය යුතු බවත්ය. එය රාජකාරි වගකීම් සහිත පරිසරයෙන්ම ලැබෙන දෙයක් වුව ද ඒ මූලික හරයන්ට පහර ගසමින් බලයට පැමිණි විට ඔවුන්ටම තමන් කියන දේ පාරාවළල්ලක් බවට පත්වන බවය.







