දිනසේන රතුගමගේ –
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් වවුනියාවේ ආරක්ෂක අංශ වෙත ලබා දුන් ඔත්තුව වැරදීම නිසා ස්ථාන තුනක වළ දැමුවේ යැයි කියන රත්තරන් හා අවි ආයුධ සොයමින් සිදු කරන ලද කැණීම් නවතා දමන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් මොහොමඩ් ඊයේ (14) පොලීසියට නියෝග කළේය.
වවුනියාව පූවරසන්කුලම අලුත්කෝවිල්කුලම ප්‍රදේශයේ ස්ථාන තුනක කොටි සාමාජිකයින්ගේ අවි ගබඩා හා රත්තරන් වළලා ඇති බවට ලද තොරතුරක් මත වවුනියාවේ ආරක්ෂක අංශ එම ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කළහ.
යුද සමයේදී මේ ස්ථාන තුනේම කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ කඳවුරු පවත්වා ගෙන ගිය බවටත් ඒ කාලයේදී කඳවුරු ඉවත් කොට වෙනත් ස්ථානවලට යාමේදී ඔවුන් සතු අවි ආයුධ හා රත්තරන් තොග මේ ස්ථානවල වළ දැමූ බවටත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මේ ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.
පූවරසන්කුලම පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් වෙත ඉදිරිපත් කරණ ලද වාර්තාවකට අනුව එම ස්ථානවල කැණීම් කටයුතු සිදු කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයාද එම ස්ථානයට පැමිණ සිටි අතර පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ සමාජිකයින් මෙම කැණීම් කටයුතුවලට සහභාගී වී සිටියහ.
බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන අඩි පහලොවක් පමණ ගැඹුරට එම ස්ථාන තුනේම කැනීම් සිදුකළද කිසිදු යමක් හමු නොවීය.
මේ නිසා කැණීම් කටයුතු නවතා දමන ලෙසත් හාරණ ලද වළවල් වසා දමන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.