තරගාවලි අතර තුර ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් පිළිපැදිය යුතු නීති මාලාවක් තිබේ. ඒවා අයිසීසිය මගින්ද අදාල පාලක මණ්ඩල විසින්ද පනවනු ලබන ඒවාය.
කණ්ඩායමේ කළමනාකරුවකු සිටින්නේ ඒ ගැන අවධානයෙන් සිට සොයා බැලීමටය.
අයිසීසී දූෂණ මර්ධන ඒකකයද තරගාවලි අතර තුර ක්‍රීඩකයන් යන එන තැන් මුණ ගැසෙන අමුත්තන් ඔවුන් හා දුරකථනයෙන් සංවාදයේ යෙදෙන්නන් ගැන අවධානයෙන් සිටින්නේ කොයි මොහොතේ හෝ බුකි කරුවන් ඔවුන් සමග සබඳතා ගොඩ නන්වා ගනීද යන්න සොයා ගැනීමටය.
විශේෂයෙන් ඉන්දියාව සමග තරග වදින විට එය වඩාත් වැදගත් වන්නේ වැඩිපුරම බුකි කරුවන් සිටින්නේ ඉන්දියාවේ නිසාය
ශ්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය කළමනාකරුවකු හෝ නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවකු නොමැත. වඩාත් තීරණාත්මක හා වැදගත් ඕස්ට්‍රේලියා හා ඉන්දීය සංචවලට ශ්‍රී ලංකා කණ්ඩායම ගියේ තාවකාලිකව ගැට ගසා ගත් කළමනාකරුවකු හා පුහුණුකරුවකු සමගය.
එය එසේ වන්නේ මහේල ජයවර්ධන, අරවින්ද සිල්වා, සංගක්කාර, මුරලිදරන්, ටොම් මූඩි වැනි අපේ ක්‍රිකට් ගොඩ ගන්න යැයි කියමින් සියලු තීරණ ගන්නා සුපිරි තාක්ෂණ කමිටුවක් සිටියදීය.
මීට පෙරද ගැට ගසා ගත් තාවකාලික කළමනාකරුවකු සිටියදී එංගලන්තයේදී ජෛව බුබුල උල්ලංඝනය කරමින් මැදියම් රෑ රස්තියාදුවේ ගිය ක්‍රීඩකයන් තිදෙනෙකු එසේ රස්තියාදු ගැසුවේ දුර්වල කළමනාකාරිත්වය නිසාය.
ඕස්ට්‍රේලියානු සංචාරයේ අවසන් තරගයෙන් පසුව ක්‍රිඩකයන් ජෛව බුබුල නීතිය උල්ලංඝනය කරමින් ඕස්ට්‍රේලියාවේ වසන හිටපු ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය සමග ක්‍රීඩක කාමරයේම ගත් පින්තූර සමාජ ජාලවල දක්නට ලැබිණ.
ඉන්දීය සංචාරයේ දෙවෙනි තරගය අවසානයේ එක් ක්‍රීඩකයකු හෝටලයට ගිය වහාම ලංකාවේ සිටින තම පෞද්ගලික කළමනාකරු විසින් හිටපූ ඉන්දීය ක්‍රීඩකයකු සමග සූම් තාක්ෂණය ඔස්සේ කරන ලද සාකච්චාවක් සමාජ ජාල තුළ සංසරණය වෙයි.
කරුණු මෙසේ වන්නේ වසර ගණනක් මුළුල්ලේ කණ්ඩායම සමග විනෝද චාරිකා යන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විමර්ශන නිලධාරින් දෙදෙනෙකුද සිටියදී ය.
මෙතෙක් කාලයකට මොවුන් දෙදෙනා ඇල්ලූ කෙනෙකු නොමැත.
ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් විසින් ක්‍රීඩකයන් නොමග යවන අවස්ථා දැන් අසන්නට ලැබේ.
තරග අතර තුර ඔවුන්ට ක්‍රීඩකයන් සමග තවත් පාර්ශව එක් කොට මෙවැනි සංවාද පැවැත්වීම සැක සහිත වුවත් මෙවැනි දේ සිදු වන්නේද දුර්වල කළමනාකාරිත්වය නිසා බව ක්‍රිකට් බලධාරීන් තේරුම් ගත යුතුය.
එපමණකින් නොනැවතී වහා පියවර ගත යුතුය. නැති නම් වන්නේ අයිසීසි දූෂණ වංචා ඒකකය නැවතත් අපේ ක්‍රීඩකයන් හා කළමනාකරුවන් පස්සේ පැන්නීමය. දිගින් දිගටම තරග පරාජය වීමත් මෙයට තවත් හේතුවක් වනු ඇත.