ජපානය, ශ්‍රී ලංකාවේ සිදු කිරීමට උත්සාහ කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හා ඩොලර් මිලියන 500ක වටිනාකමින් යුතු නැගෙනහිර වරාය බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ස්තූතියකින් තොරව එපා යැයි පැවසූ ශ්‍රී ලංකා ආණ්ඩුව යළි ජපානයෙන් ආධාර ඉල්ලමින් සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ ද මෙරට විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා ජපානයෙන් සහය ඉල්ලා සිටි අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය මියාකේ ශින්ගෝ හමු වී ශ්‍රී ලංකාවට ජපානයේ සහය අත්‍යාවශ්‍ය බව සඳහන් කර තිබේ.
මෙහිදී දශක ගණනාවක් තිස්සේ ජපානය ශ්‍රී ලංකාවේ සමීප හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත් නිපුණතා සංවර්ධනය, පරිගණක තාක්ෂණය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිකිරීම, වෛද්‍ය උපකරණ හ ඖෂධ ද්‍රව්‍ය ලබාදීම ආදී සහයෝගයන්ට පීරිස් සිය ප්‍රසාදය පළ කළේය.
දෙවැනි ලෝක යුධ සංග්‍රාමය අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ශ්‍රී ලංකාව ජපානයට ලබා දුන් සහය ද මෙහිදී සිහිපත් කරන ලදී.
ශ්‍රී ලංකාව හා ජපානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරෙන බවත් සියවස සැමරීමට මත්තනේ දෙරට ඇති සබඳතා තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වෙන බවත් ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප මන්ත්‍රී මියාකේ ශින්ගෝ අදහස් පළ කරමින් පැවසීය.
ඩිජිටල්කරණය, කාබන් බලපත්‍රය, වෙරළ සංරක්ෂණය, ධීවර කර්මාන්තය හා ගෝලීය උණුසුම ඇතුළු සාගර ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජපානය සමඟ ඇති සහයෝගීතාවය පුළුල් කිරීමට ද ලංකාව අපේක්ෂා කරන බව දන්වා තිබේ.
මහාචාර්ය ජී එල් පීරිස් එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හා එක්සත් ජනපදය කැනඩවා ඉන්දියාව හා ප්‍රංශය යන රටවල තානාපතිවරුන් හා නිත්‍ය නියෝජිතයින් ද හමුවී මෙහිදී සාකච්ඡා පැවැත්වීය.