නතාෂා නෙත්මිණි –
ඉන්දීය ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට වසරක පමණ කාලයක් ගත වෙන බැවින් ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට කොවිෂීල්ඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ගැටලු මතු ඇතිබවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කරයි.
අසල්වැසි රටවල් වෙත මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් එන්නත නිෂ්පාදනය කරන සමාගම් සමග ඉන්දීය රජය අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පෙන්වාදේ.
මේ වන විට ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණ ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණයෙන් පළමු මාත්‍රාව ඉවක් බවක් නොමැතිව පුද්ගලයින්ට ලබා දීම හේතුවෙන් දෙවන මාත්‍රාව ලබා දීමට නැවත එන්නත ලැබිය යුතු බවත් එම එන්නත් තොගය කවදා ලැබේවිද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි යැයිද ඔහු පෙන්වාදේ.
දෙවන මාත්‍රාව ලබා දීමට සඳහා එන්නත් නොලැබුණහොත් පලමු මාත්රාවෙන්ද පලක්නොමැති වනු ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.
කෙසේ නමුත් ලබන සතියේදී කොවිෂීල්ඩ් එන්නත් මීලියන 18ක ප්‍රමාණයක් මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළද එන්නත් ඇනවුම් කළ රටවල් බොහෝමයක් සිටින බැවින් එය අපට ලැබෙන තෙක් විශ්වාසයක් තැබිය නොහැකි යැයිද ඔහු පවසා සිටියි.







