එක රටක් එක නීතියක් ස්ථාපනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් තමන්ගේ උපදෙස් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව තමන් සතුටු නොවන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කරයි.
ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර දේශපාලන තලයේ කිහිප දෙනකු සමඟ අදහස් දක්වමින්ද අමාත්‍යවරයා මේ කමිටුව පිළිබඳව තමන් පෙර දැනුවත් කිරීමක් නොකිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇත.
එම පුවත්පත් වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කරන බවට මෙම කාර්ය සාධක බලකායට පත් කෙරුණු ඇතැම් සාමාජිකයන් පවා දැන සිටි බවය. විශේෂයෙන් මුස්ලිම් සාමාජිකයන් මෙම කාර්ය සාධක බලකායේ සභාපති ධුරය ඥාණසාර හිමියන්ට දෙන බව නොදැන සිටි බව ට එම වාර්තාවේ දැක්වෙයි.
මේ වන විට විවිධ සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක්ම ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට මෙම කාර්ය සාධක බලකායේ සභාපති ධුරය පිරිනැමීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර ඇති බව සඳහන් වේ.