පසුගිය මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවට යෝජනාවක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන යන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඩේලි මිරර් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර මැතිවරණ පරාජයත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ අදාළත්වය අහෝසි වී ගිය බැවින් පක්ෂයේ කටයුතු සම්පූර්ණයෙන් නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. කෙසේ වුවද, එම සාකච්ඡාවලට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුටම එක්සත් ජාතික පක්ෂය පවත්වාගෙන යෑමේ දැඩි අවශ්‍යතාවයක් පැවැති අතර එම මැතිවරණයේදී ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්දය ලබා නොදුන් බව ද ප්‍රකාශ කළ බව ඔහු පවසා තිබේ.
තමන්ද එක්සත් ජාතික පාක්ෂිකයින් ඒකරාශී කළ හැකි බවට තදින්ම විශ්වාස කළ අයෙකු බව පවසන නවීන් දිසානායක මහතා, එක්සත් ජාතික පක්ෂයට තවමත් අනාගතයක් පවතින බව සඳහන් කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා, මේ වන විට එක්සත් ජාතික පක්ෂයට විශාල වත්කමක් දී ඇති බවද ඔහු හොඳ නායකයෙකු බව ද ප්‍රකාශ කර තිබේ.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ පාවිච්චි කරන්නේදැයි විමසූ අවස්ථාවේ පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, බැලූ බැල්මට යමෙකුට එසේ සිතුණ ද, එය එසේ නොවන අතර, ඔහු ඔවුන් පාවිච්චි කරන තත්ත්වයක් මේ පිළිබඳව සංසුන්ව විමසීමේදී පෙනී යන බවයි.