මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සාක්ෂි කරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර නම් කර ඇතැයි නීතිපතිවරයා අද (16) අධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා මෙම දැනුම් දීම කළේ මෙම නඩුව ආචාර්ය නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (16) විභාගයට ගත් අවස්ථාවේ දී ය.
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කැඳවා තිබූ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා වැඩිදුර සාක්ෂි විභාගය මෙහෙයවනු ලැබුවේය.
ඒ අනුව තිර පිටපත් හා නාට්‍ය අධ්‍යක්ෂවවරයක් වූ වසන්ත කුමාර, හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වු ශිවකුමාර් සහ විශ්‍රාමික යුද හමුදා සෙබල සම්පත් කුමාර වීරතුංගගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිනි.
නඩුවේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ පවසා සිටියේ 2015 වසරේ සිට මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවය.
2022 වසරේ නොවැම්බර් මස 29 වැනිදා තමා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත් එය සලකා බලන බවට එවක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින් දැනුම් දී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
ශානි අබේසේකර මේ වනවිට පැමිණිල්ලේ 109 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති බව එම අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා පැවසුවේය.







