-
පාසල් 100ක් නම් කරන්න… මාස 06කින් සංවර්ධනය කරනවා… කුලයට අදින ප්‍රාදේශීය ලේකම්වරු ගැනත් බලා ගන්නවා… ජනපති පොරොන්දු වෙයි…
උතුරු පළාත තුළ ඉතාම නිර්දය ලෙස කුල අනුව බෙදී ඇති අකාරයත් එම සමාජ ක්‍රියාකාරිත්වය තුළ යටිපෙළෙහි ඇති කුලයේ බලපෑමේ අවරෝධී ලෙස සමාජ සංවර්ධනයට බලපානු ලබන ආකාරයත් සම්බන්ධව පුළුල් කථිකාවක් ජනාධිපතිවරයා සමග ගොඩනගා ගැනීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය ඊයේ (06) කටයුතු කළේය.
එම කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් සහ උතුරු පලාතේ සිව් දින නිල සංචාරකය යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙම හමුව ඊයේ පස්වරුවේ දී සිදුවිය.
උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටලුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම සංවාදය අතර හෙළි වූ තිගස්වන සුළු කතාව නම් යාපනයේ ග්‍රාමීය පෙදෙස්වලට යත්ම රජයේ පාසල් පද්ධතියත් කුල අනුව බෙදී ගොස් තිබීමය. සිය දරුවන් වෙනත් කුලවල දරුවන් හා නොගැටීම සඳහා දීර්ඝ කාලයක් නිහඬව සිදුකළ සමාජ බලපෑමක ප්‍රතිඵලයක් ලෙස මෙම කුල පාසල් පැවතෙන බව වාර්තා වී ඇත.
උතුරු පළාතේ ඇති මෙම කුල පාසල් අති බහුතරයක් අවම පහසුකම් පවා නොමැති අතිශය දුගී ස්වරූපයක පවතින බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථ් පැවසූවේය. එම පාසල් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.
එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල් 100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය.
කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.