දිනසේන රතුගමගේ
මීළග පළාත් සභා මැතිවරණයේදී උතුරේ ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් නම් නොකිරීමට තීරණය කොට ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඊයේ ( 16 ) සඳහන් කළේය.
මුල සිටම ප්‍රධාන අමාත්‍ය ධූරය සදහා නම් කරණු ලබන්නේ පක්ෂය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ පුද්ගලයෙකු බවට තීරණය වූ අතර එහිදී වැඩි වාසියක් හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාට හිමිවන බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතරවාරයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් ප්‍රධාන අමාත්‍යධූරයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමගම බොහෝ පිරිසක් ඔහුට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය හරහා ඊට අවස්ථාව සලසා දිය යුතු බවට ඉල්ලීම් කොට තිබේ.
නමුත් එවැන්නකට ඉඩක් නොමැති නිසා ඉලන්චෙලියන් වෙනත් දෙමළ දේශපාලන පක්ෂයකින් උතුරේ ප්‍රධාන අමාත්‍යධූරයට තරග කළහොත් විශාල තරගයක් එම මැතිවරණයේදී නිර්මාණය වන බව උතුරේ විද්වතුන් කීප දෙනෙකුම මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කොට තිබේ.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සඳහා යම් නිවේදනයක් නිකුත් කරණ තෙක් ඉතා ඉවසිලිවන්තව සෑම දෙමළ දේශපාලන පක්ෂයක්ම කටයුතු කළ යුතු බවත් නිල නිවේදනයක් ලද පසුව සාකච්ඡා කොට සුදුසුම පුද්ගලයෙකු උතුරේ ප්‍රධාන අමාත්‍ය ධූරය සදහා ඉදිරිපත් කල යුතු ව බවත් උතුරේ එම විද්වත් මණ්ඩලය යෝජනා කොට සිටියේය.







