ඉන්දියානු රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක වී ආනන්ත නාගේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කණ්ඩායමක් හෙට (23) විශේෂ ගුවන් යානයකින් හදිසි කෙටි සංචාරයක්ශ් සඳහා ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් වාර්තා කරයි.
මෙරටට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම පරීක්ෂා කිරීම සඳහා ඔවුන් පැමිණෙන අතර පැය තුනක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
නව දිල්ලියේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණේ.
මේ වන විටත් ලංකාවට තෙල් ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට අවශ්‍ය කටයුතු ඉන්දියාව සිදු කරගෙන යයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙවැනි කෙටි හමුවීම් හා සාකච්ඡා යුද්ධය පැවති සමයේදී සිදු වූ අතර දෙරට අතර සබඳතාවය ඉහළ නංවා ගැනීමට මෙම හමුවීම් පිටුවහලක් වී ඇත.