ඉමියුනොග්ලොබියුලීන් අපරාධය සම්බන්ධව ප්‍රධාන චූදිතයෙක්වන හදිසි ප්‍රසම්පාදන කමිටුවේ ඇගයිම් කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය විමර්ශන මගහැර විදෙස්ගතව සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර වරෙන්තු නිකුත් කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රශ්නගත අපරාධය සම්බන්ධ මුල් ගොනු අස්ථානගත කිරීම සම්බන්ධව වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට අද උදේ 9ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
ඒ ඊයේ (29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ ඉමියුනොග්ලොබියුලීන් මානව ප්‍රතිශක්ති එන්නත් වංචාව පිළිබඳ නඩුව කැඳවු අවස්ථාවේ දී ය.
ප්‍රශ්නගත ගනුදෙනුවල මුල් ගොනු අස්ථානගත වීම සඳහා වගකිව යුතු තැනැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක බව නියොජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඊයේ අධිකරණයට පැවසුවාය.
නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නේ වෛද්‍ය සමන් රත්නායක විමර්ශන කටයුතු මගහැර යන ආකාරයේ බොරු කියන බවය. පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ගෙන සිටින බවත් තමන් ඉන්නේ වනාත විල්ලුවේ බවත් ප්‍රකාශ කරමින් වෛද්‍ය සමන් රත්නායක විමර්ශන නිලධාරියෙක් වෙත කෙටි පනිවිඩයක් යවමින් දන්වා ඇතත් ඊයේ සවස් වනතුරුම ඔහු තම කාර්යාලයේ රැඳි සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය හෙළි කළාය.
එමෙන්ම සමන් රත්නාය තාවකාලිකව පදිංචි බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලිපිනය ව්‍යාජ බව ද ඇය අධිකරණයට දැනුම් දුන්නා. ඒ හේතුව නිසා ඔහුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට වැඩිදුර ප්‍රකාශයක් ලබා දෙන්නැයි ඔහුගේ කුරුණෑගල ලිපිනයට ගොස් දැන් වූ බවත් එම දැන්වීම සමන් රත්නායකගේ බිරිය භාරගත් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.
මේ කරුණු සලකා බලා හෙට උදෑසන 9ට ප්‍රකාශයක් ලබා දීමට නියෝගයක් නිකුත් කරන්නැයි නි.සො.ජෙ.වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය
මහේස්ත්‍රාත්වරයි කීවේ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසය. එමෙන්ම මෙම අපරාධයට සම්බන්ධ තවත් මුල් පුරුක් කීපයක් සිටින බවත් ඉදිරි නඩුවාරයට පෙර අත් අඩංගුවට ගත යුතු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කළා.