කීර්ති ප්‍රනාන්දු –
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලට වඩා අඩුවෙන් දේශීය බිත්තර පාරිභෝගිකයා හට ලබාදීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම් .සරත් රත්නායක පවසයි .
මේ අනුව රුපියල් 37 සිට 43 දක්වා මිලට වෙළඳුන් බිත්තර අලෙවි කරන බවත් ඇතැම් වෙළඳුන් රුපියල් 45ටත් බිත්තර අලෙවි කරන බවත් ඔහු සදහන් කරයි .
දේශීය බිත්තර මිල අඩු වීම පිළිබඳව අප වෙළෙඳපොළ තුළ කළ සොයා බැලීමේදී දේශීය බිත්තරයක් රුපියල් 37 සිට 43 දක්වා මිල ගණන් යටතේ අලෙවි කරන බව දැක ගන්නට ලැබිණ .
එසේම දේශීය බිත්තර පාරිභෝගිකයන් හට අවශ්‍ය පරිදි හිඟයකින් තොරව ලබාදීමට හැකි වී ඇතැයි පවසන සභාපතිවරයා මේ වන විට දේශීය බිත්තර නිෂ්පාදනය දිනකට ලක්ෂ 75 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කියා සිටියේය .
දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙනි ඉදිරි මාස කිහිපය තුළ බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවද සභාපතිවරයා කීය .
මේ අතර රජයට අවශ්‍ය නම් දේශීය බිත්තරයක් රුපියල් 40 බැගින් මසකට බිත්තර කෝටි 04 වුවද කොළඹට ගෙනවිත් දීමටත් දින 10 ක වගකීමක් ලබාදීමටත් තම සංගමයට හැකියාවක් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය .