දිනසේන රතුගමගේ –
-
යාපනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අසල උපවාසය ඇරඹූ උපාවසකරුවන් පොලිසියෙන් පළවා හරී… ඊට නුදුරින් ඉඳන් උපවාස කරුවෝ විරෝධතාවය අරඹති…
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම් වලට විරෝධය පල කිරීමක් වශයෙන් යාපනයේ ධීවර සංගම් නියෝජිතයින් ඊයේ (19 ) සිට දහවල් නිරාහාර උපවාසයක් ආරම්හ කොට තිබේ.
යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ මරතඩි හන්දියේ සිට විරෝධතා පාගමනකින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් ඒ ඉදිරි පිට මෙම උපවාසය ආරම්භ කර තිබුණහ.
අනතුරුව ස්වල්ප වේලාවකින් එතැනට පැමිණි පොලීසිය උපවාස කරුවන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර පසුව ඔවුන් ඊට මදක් නුදුරින් පිහිටි යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ආසන්නයේ එම උපවාසය දියත් කොට තිබේ.
උපවාසකරුවන් කියා සිටින්නේ මේ දිනවල ඉන්දීය ධීවරයින් විශාල ප්‍රමාණයක් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ කටයුතු වල නිරත වන අතරවාරයේ උතුරේ ධීවරයින්ට අයත් දැල් කැපීමත් ධීවරයින්ට පහර දී බිය ගැන්වීමත් සිදුකරන බවය.
නාවික හමුදාවට අත් අඩංගුවට ගැනීමට හැකි වන්නේ මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් නිසා මේ ප්‍රශ්නයට වහාම රජය මදිහත් වීමක් අවශ්‍ය බවද උපවාසකරුවෝ කියා සිටිති.