දිනසේන රතුගමගේ –
යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කර ධීවර බෝට්ටු පැදවූ ධීවරයින් දෙදෙනෙකුට මාස හය බැගින් සිර දඩුවම් නියම කිරීමට යාපනය මහේස්ත්‍රාත්වයා ඊයේ (22) නියෝග කළේය.
නාවික හමුදාව වීසින් යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදේ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී මෙම ධීවරයින් 20 දෙනා බෝට්ටු දෙකක් සමග අත් අඩංගුවට ගෙන තිබුණේ පසුගිය පෙබරවාරී මස 7 වෙනිදාය.
ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව බන්ධනාගාර ගත කළ අතර ඔවුන්ට එරෙහිව පැවති නඩු විභාගයේදී ධීවරයින් විසි දෙනාම වරද පිළිගැනීම නිසා ධීවරයින් 18 දෙනෙකුට වසර පහකට අත්හිටවූ සිරදඩුවම් මාස 18 කට නියම කළ අතර ධීවර පිරිස අතර සිටි බෝට්ටු පැදවූ ධීවරයින් දෙදෙනාට මාස හය බැගින් සිර දඩුවම් නියම කරණු ලැබීය.
බෝට්ටු දෙක රාජසන්තක කොට ඒවා නාවික හමුදාව බාරයේ තබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිදහස ලද ධීවරයින් 18 දෙනා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ හා නාවික හමුදාවේ සහය මත ආපසු ඉන්දියාවට පිටත් කොට යැවීමට පියවර ගන්නා ලෙසද යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.