ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් බලහත්කාර ධීවර කොල්ලයක යෙදී සිටින තමිල්නාඩු ධීවර කොල්ලකරුවන් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ශ්‍රී ලංකා රජයට නොනිල ආකාරයෙන් කෙරෙන තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සිය ජාතියට අභියෝග කිරීමක් බව ස්ටාලින් දන්වා ඇත.
මේ බව දන්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වෙත ලිපියක් යවන තමිල්නාඩු මහ ඇමතිවරයා, නොවැම්බර් 16 වන දින ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ යාන්ත්‍රික බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම පිළිබඳව සිය අවධානය යොමු කරන බවත් ඒ සම්බන්ධව දැඩි කනස්සල්ල පල කරන බවත් දන්වා ඇත.
තමිල්නාඩුවේ කරයික්කාල්, පුදුකෝට්ටායි සහ නාගපට්ටිනම් දිස්ත්‍රික්කවල පදිංචි මෙම ඉන්දීය ධීවරයින් 14 දෙනා සහ ඔවුන් පැමිණි යාත්‍රා ජාත්‍යන්තර සමුද්‍ර සීමාව තරණය කර යාපනයේ නැදුන්තීව් ආසන්න මුහුදේ මසුන් මරමින් සිටිය දී පසුගිය බදාදා (16) උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහෙත් මේ සිද්ධිය සම්බන්ධව දැඩි ප්‍රකාශයක් ද සහිතව ඉන්දීය විදේශකටයුතු ඇමතිවරයා අමතන තමිල්නාඩු මහ ඇමතිවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය වහාම මැදිහත් වී සාධනීය පියවරක් ගත යුතු බවය
දිගින් දිගට සිදුවන මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ නිල විරෝධය පළ කළ යුතු බව ද තමිල්නාඩු මහ ඇමතිවරයා දන්වා තිබේ.
ඔහු පවසන්නේ මෙම වසර තුළදී පමණක් තමිල්නාඩු ධීවරයින් 198 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙලෙස සිය ධීවරයින් නිතර සිරගත කිරීම, ඔවුන්ගේ බෝට්ටු අත්අඩංගුවට ගැනීම සහ යාත්‍රාවලට සිදු කරන ලද අලාභහානි හේතුවෙන් මුළුමනින්ම ධීවර කර්මාන්තයෙන් යැපෙන බොහෝ ධීවරයින්ගේ ජීවනෝපාය බිඳ වැටී ඇති බව මහ ඇමති ස්ටාලින් කියන්නේය.
ඉන්දීය රජය පාර්ශ්වයෙන් නැවත නැවතත් අභියාචනා කළද ධීවරයින් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුවන අතර, මේ වන විට තමිල්නාඩු ධීවරයින්ට අයත් බෝට්ටු 100ක් ශ්‍රී ලංකාව භාරයේ පවතින බව ඔහු දන්වා ඇත.
ඉන්දීය ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතීන් සුරැකීමට තමිල්නාඩු රජය උනන්දු වන බව සහ කැපවන බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මෙම ලිපිය හරහා යළි යළිත් අවධාරණය කර තිබේ.
“ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අපගේ ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය ට ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදුවන අතර එය ඉන්දියාවට සහ ඉන්දියාවේ ආරක්ෂාවට අභියෝගයක් ලෙස පෙනෙයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර නැවතත් මෙවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති සියලුම ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි”
තමිල්නාඩු මහ අමාත්‍යවරයා ඉන්දීය විදේශ ලේකම් වරයා වෙත දන්වා ඇත.