පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දී පාදයේ සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව මිය ගිය දරුවා එසේ මිය යන්නට ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රශ්නකාරී “බුපිවකේන්” නිර්වින්දන එන්නත හේතුවෙන් විය හැකි බව එම දරුවාගේ මව්පියෝ මේ වනවිට ප්‍රකාශ කරති.
තම දෙහැවිරිදි දරුවාට අදාල නිර්වින්දන එන්නත මැයි මස 23 දා ලබා දී ඇති බවත් අනතුරුව යළි සිහි නොලැබූ එම දරුවා මැයි මස 25 දා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මරණයට පත් වූ බවත් දරුවාගේ පියා වූ ඩබ්ලිව්.එස්. වෙල්ගම පැවසුවේය.
දෙහැවිරිදි දරුවාගේ කකුලේ උපතින්ම තිබූ ඇදයක් නිවැරදි කිරීමේ අභිලාෂයෙන් මෙම සැත්කම සිදුකළා මිස දරුවාට වෙනත් කිසිම රෝගී තත්ත්වයක් නොතිබුණ බව එම පියා ප්‍රකාශ කළේය.
-
දරුවා මිය ගියේ එන්නත නිසාදැයි සැකයි!
දරුවාගේ තාත්තා අපට කීවේ මෙවැනි කතාවකි.
“ පහුගි මැයි මාසේ 22දා මගේ පුතා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට ඇතුළත් කළේ පාදයේ පොඩි සැත්කමකට. සැත්කම 23 වැනිදා කළා. ඒක පැය 06ක් පමණ කාලයක් ගිය සැත්කමක්.”
“පුතා වාට්ටුවට ගෙනාවේ සිහිය නැතුව. ඉන්පසු පුතාගේ තත්ත්වය බරපතළ නිසා එයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 25 වෙනිදා වෛද්‍යවරු මට කීවා මගේ පුතා මියගිය කියලා. මේක මට අදහගන්නත් බැරි වුණා. මගේ පුතාට කිසිම රෝගයක් තිබුනෙ නෑ. කකුලේ අස්ථියක සුළු ශල්‍යකර්මයක් විතරයි කරන්න තිබුනේ. “
“මම වෛද්‍යවරුන්ගෙන් ඇහුවා එහෙම උනේ කොහොමද කියලා. ඒ අය මට හරි උත්තරයක් දුන්නේ නෑ. නමුත් රෝහලේ අයගේ යම් යම් ප්රකාශවලින් හැසිරීමෙන් මට සැකයක් ඇති වුණා මගේ දරුවා නැති වුණේ නිර්වින්දන ඖෂධයක වරදින් කියලා.”
“ මගෙ දරුවා මිය ගිහින් තියෙන්නේ මේ නිර්වින්දන එන්නත නිසා නම් එහි වගකීම දැන් භාරගන්නේ කවුද?” ඒ තාත්තා ඇසුවේය.
මාස දෙකක් දැඩි සත්කාර ඒකකයේ සිටීමෙන් අනතුරුව පෙරේදා(18) මිය ගිය විදුහල්පතිනියගේ මරණය සම්බන්ධව ඇසීමත් සමග තම දරුවාගේ මරණය සම්බන්ධව ඒ මවුපියවරු නැවත සිතා තිබුණහ.
මරණය සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවබෝධයක් ඒ අවස්ථාවේ නොතිබුණ බව ඒ මව්පියවරු ප්‍රකාශ කළහ.
-
දරුවන් දෙදෙනෙකුගේ මරණ
මේ අතර අද (20) දහවල් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ පේරාදෙණිය ළමා රෝහලේ ඉහත දරුවාගේ මරණය පමණක් නොව, පසුගිය 03 වැනිදා තවත් දරුවෙක් වශයෙන් දරුවන් දෙදෙනෙකුගේ සැක කටයුතු මරණ වාර්තා වී ඇති බවය.
එම මරණවලට පෙර එම දරුවන්ට ප්‍රශ්නගත නිර්වින්දන එන්නත ලබා දී තිබුණු බවත් මෙම මරණවලට එම එන්නතේ බලපෑමක් වී ද යන්න විද්‍යාත්මකව තහවුරු කරගත යුතු බවත්ය.
කෙසේ වෙතත් මෙම එන්නත නිසා මින් මාස දෙකකට පෙර තරුණ ගැබිණි මාතාවක් මිය යෑමෙන් පසු එන්නතේ අදාල ඛාණ්ඩ භාවිතයෙන් ඉවත් කෙරනි.
ඊයේ වනවිට ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රශ්නකාරී “බුපිවකේන්” නිර්වින්දන එන්නත මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කර තිබේ.
-
එහෙම දෙයකි නෑ – රෝහල් අධ්‍යක්ෂ
මේ පිළිබඳව කළ විමසිමක දී බණ්ඩාරනායක ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ කරුණු හරිහැටි නොදැන ඇතැම් පිරිස් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ කරන බවය.
අද සමාජ මාධ්‍ය ඔස්සේ මතු කළ දරුවාගේ මරණය සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් තවමත් ලැබී නැතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීර බණ්ඩාර කීවේය.
නොයෙකුත් හේතු නිසා ළමා රෝහලකදී සාමාන්‍යයෙන් මරණ සිදුවන බවත් ඖෂධයක බලපෑම හේතුවෙන් මරණයක් සිදු වූ බවට කිසිදු පැමිණිල්ලක් නොමැති බවත් වගකීමෙන් ප්‍රකාශ කරන බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේය.
ඖෂධයක බලපෑම නිසා මරණයක් සිදු වුවහොත් අනිවාර්යෙන්ම පැමිණිල්ලක් ඉදිරිපත් වන බවත් ශල්‍යාගාරයේ දී ඒ ආකාර මරණයක් සිදුව නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.







