දිනසේන රතුගමගේ –
යාපනයේ වඩමරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට ඊයේ (10) අමුතු හැඩයක බෝට්ටුවක් ගොඩ ගසා තිබේ.
මුහුදු වෙරළට මදක් ඈතට පාවී පැමිණ තිබූ එම බෝට්ටුව පළාතේ ධීවරයින් විසින් ගොඩට ඇද තිබේ.
මෙම බෝට්ටුව ශ්‍රී ලංකාවේ කිසිම පළාතක ධීවරයින් හෝ වෙනත් පිරිස් භාවිත නොකරණ මාදිලියක බෝට්ටුවක් බව බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන් හා නාවික හමුදාව ප්‍රකාශ කොට ඇත.
එය ඉන්දියාවට අයත් බවට පැහැදිලි සාක්කි නොමැති නමුත් බෝට්ටුව ගැන යාපනයේ ධීවර නිලධාරීන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද තොරතුරු දැනුම් දී තිබේ.
අදාල බෝට්ටුවේ සලකුණු හෝ වෙන කිසියම් අක්ෂරයක් නොමැති නිසා ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ කිසිම ධීවර සමීතියක එය ලියාපදිංචි කොට නොමැති බෝට්ටුවක් බවට තොරතුරු හෙළි වී ඇත.
කෙසේ වෙතත් එම බෝට්ටුවේ කවරෙකුවත් පැමිණි බවටද සාධකයක් බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන්ට හමු වී නොමැත.
නිලධාරීන් සැක පහළ කරන්නේ කිසියම් පිරිසක් මෙම බෝට්ටුවෙන් ගොඩ බිමට පැමිණ බෝට්ටුව අත හැරීමක් හෝ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදේ පාවී යාපනයේ මුහුදු වෙරළට ගොඩගසන්නට ඇති බවය.
යාපනයේ කුඩත්තනෙයි මුහුදු වෙරළට ගොඩ ගැසූ එම බෝට්ටුවට පූර්ණ ආරක්ෂාව සලසා ඇත.