-
එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කිසිම ප්‍රත්පත්තිමය ගැටලුවක් තිබුණෙ නෑ… අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහ බලය සම්බන්ධ ගැටලුවක් තිබුණෙ. එය මුල් කරන් 2020 දි අවුරුදු 73ක් අඛන්ඩව තිබුණු දැවැන්ත දෙශපාලන පක්ෂය කැඩුවා….
-
අවස්ථා ගණනක දි ජනාධිපතිතුමා කිව්වා එක් වෙමු කියලා… රාජපක්ෂ දුෂිත කණ්ඩායම ඉවත් වෙද්දි කිසිම ගැටලුවක් ඇති නොවුන අවස්ථාවෙදි බන්දේසියක තියලා බලය දුන්න වගේ ආපු දෛවෝපගත අවස්ථාව මගහැරියා…
-
අවුරුදු 05ක් ඉවසන්න බැරිව බලය ගන්න හදිස්සි වුනා… බොරු රැල්ලක් හදලා පරණ ක්‍රමයට දේශපාලනය කරගෙන යන්නේ කිසිම සැලැස්මක් දැක්මක් ඇතිව නෙමෙයි… තමන්ගේ අපරිනතකම ගැන ජනතාව කියන කතා ගැනවත් වගේ වගක් නෑ… රඟපාන්න හදන්නේ ගෝඨාභය 02…
-
සියයට 3ක් ගත්ත ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස විශාල දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වෙද්දි අපේ එකම කඳවුරේ නායකයා නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණයට තරග කරනවා… සියලු දෙනාම තම තමන්ගේ දේශපාලන ජීවිත වලින් වන්දි ගෙවන්න වන බව මතක් කරනවා….
තමන් කොච්චර අපරිනත වුවත්, තමන්ගේ අපරිනත බව ජනතාව අතරේ කතා බහට ලක්වුවත් ඒ පිළිබඳ වගේ වගක් නැතිව ජනාධිපතිවීම සඳහා නොඉවසිලිමත් වන සජිත් ප්‍රේමදාස සමග සමගි ජන බලවේගය දේශපාලන පක්ෂය හැදීමට එක් වීම පිළිබඳව පසුතැවෙන බවට පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල අද සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූවාය.
අනාගතය පිළිබඳ කිසිම සැලසුමක් නැති, වැඩපිළිවෙළක් නැති සජිත් ප්‍රේමදාස මේ කෘතිමව ඇති කරන දේශපාලන රැල්ලෙන් ජනාධිපති වීම සඳහා උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ අංක 2 කොටස රඟ දැක්වීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එකතුවී දේශපාලනය කිරීම සඳහා නැවත නැවතත් ආරාධනා කරන විට එය ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන මේ අපරාධයට කඳවුරේ සියලුම දෙනාටස තම තමන්ගේ දේශපාලන ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන බවත් තලතා අතුකෝරල පැහැදලි කළාය.
ඇය පාර්ලිමේන්තුවේ දි කළ කතාව මෙසේය.
ගරු කතා නායක තුමනි. ගාමිණී අතුකෝරල වන මගේ සහෝදරයා වසර 25කට අධික කාලයක් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනය නියෝජනය කරමින් මෙම ගරු සභාවේ උත්තරිතර භාවය රැක ගනිමින් ක්‍රියා කළ අතර 2002 දී සිදුවූ ඔහුගේ හිදසි අභාවය මත නොසිතූ ආකාරයට එම හිඩැස පිරවීමට මා හට දේශපාලනයට අවතීර්ණ වීමට සිදුවූ බව ගෞරවයෙන් සිහිපත් කරනවා.
2004 දී මේ ගරු සභාවට පැමිණි මා අද මේ ගරු සභාව ආමන්ත්‍රණයකරන්නේ ඊට හාත්පසින් වෙනස් වූ පරිසරකයක සිටයි. අද අපේ මව් රට බරපතල විදිහට ආර්ථික වශයෙන් කාඩා වැටී බංකොලොත් භාවයට පත් වී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙවැනි තත්ත්වයකට ජනතාවක් වශයෙන් මගේ මවු රටට මුහුණ පාන්න සිද්ධ වුනේ. මෙවැනි ආර්ථිකමය පරිහානියකට මුහුණ දීමට තිබූ අවස්ථාවක තමයි රටක් වශයෙන් ජනතාවක් වශයෙන් අපට තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ.
එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සිදුවූ ජනතා අරගලයෙන් පසුව මේ රටේ ජනතාව වඩාත් බුද්ධිමත් වී ඇති බව අපි තේරුම් ගත යුතුයි. ඒක තමයි මහපොළොවේ ඇත්ත සහ යථාර්ථය.
ඒ නිසා 2019 හා 2020 මැතිවරණවල සිදුකළා මෙන් තව දුරටත් ජනතාව රවට්ටන්න, මුලා කරන්න, කළ නොහැකි පොරොන්දු ප්‍රකාශයට පත් කරමින් ඉදිරියට යෑමට බැරි බව මගේ විශ්වාසයයි.
එහෙත් සමහර දේශපාලඥයින් තවමත් එයට උත්සාහ කරමින් ක්‍රියාකරන බව මට පෙනී යනවා. මෙම ජනාධිපතිවරණයේ දී ජනතාව ඔවුන්ට නොරැවටෙන බවත්, එසේ ජනතාව රැවටීමට ඔවුන්ට ඉඩ දිය යුතු බවත් මගේ මතයයි.
විශේෂයෙන්ම මෙවැනි තීරණාත්මක අවස්ථාවක අපේ රටත්, ජාතියත් ජනතාවත්, රටත් සම්බන්ධව අප සතු ඓතිහාසික වගකීම අප හොඳින් හඳුනා ගත යුතුයි. එසේ නොවුනහොත් ඉතිහාසයේ කවරෙකුටවත් මගහැර යා නොහැකි අතිශය අර්බුදකාරී අවස්ථාවක එහි වගකීම සහ යුතුකම ඉෂ්ට නොකරපු දැඩි ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් පිරිසක් ලෙස අපේ නමත් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනු නොඅනුමානයි.
මම හැමදාම සත්‍යයට මුහුණ දුන් සහ ඒ වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. මගේ ඇඟේ දුවන්නේ එදා එක්සත් ජාතික පක්ෂය දිනවන්නට විශාල කාර්ය භාර්යයක් ඉටු කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වූ ගාමිණී අතුකෝරළ වූ මගේ සහෝදරයාගේ ඇඟේ දුවපු ලේ මයි. ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ පවා තමන්ගේ පක්ෂය බලයට පත් කරන්න කැපවුන නායකයෙක් තමයි මගේ සහෝදරයා. තමන්ගේ පුද්ගලික වාසිය තකා කිසිම දවසක පක්ෂය හැර ගිය නායකයෙක් ඔහු. කිසිසේත් බිඳ හෙළිය නොහැකි හෘදයාංගම සහ සම්බන්ධතාවයක් සහ ආදරයක් තමයි මගේ සහොදරයා සහ රත්නපුර ජනතාව අතර තිබුණේ.
මගේ දර්ශනයත් මා අදහන්නෙත් එයයි. ඒ නිසා මේ අවස්ථාව මට ඉතාම සංව්දි අවස්ථාවක්.
එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා. ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ තීරණාත්මක මොහොතක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට විරුද්ධව කොහෙත්ම එකඟ වෙන්න බෑ..
එසේ නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී සහ රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් අපරිනත දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසය විසින් නුදුරු දිනයක දී ඔප්පු කරාවි. ඒ ගැන තවදුරටත් නිහඬව සිටියොත් මටත් ඒ පාපයට වක්‍රව හෝ දායකවූ අයෙක් බවට පත්වේවි.
එම නිසා මේ අතිශය සංවේදී කාරණය ගැන වහාම තීරණයක් ගත යුතුයි. එසේම මේ රටට සහ ජනාතාවට ආදර්ශයක් විය යුතුයි. එය මාගේ හෘද සාක්ෂියට එකඟවන තීරණයක් විය යුතුයි. එසේම මට ජන වරමක් ලබා දුන් රත්නපුර ජනතාවට හා ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි.
මාගේ දේශපාලන ගමන මම කිසිසේත් නතර කරන්නේ නෑ. ඒ බව මේ අවස්ථාවේ ඉතාම ආඩම්බරයෙන් හා ධෛර්යයෙන් පවසනවා. මේ රටේ කාන්තාවන් වෙනුවෙන් තව බොහෝ දුරක් යා යුතු බව මගේ විශ්වාසයයි. මා ගැන විශ්වාසය තබලා මාව අවුරුදු විස්සකට වැඩි කලක් මේ උත්තරීතර සභාවට පත් කර එව්වෙ මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඈත එපිට දුෂ්කර ජීවත්වන ඉතාම ග්‍රාමීය සහ අඩු ආදායම් ලාභී ජනතාවක් මුල් කරගත් සමාජයේ අඩුම වරප්‍රසාද ලත් කොටසයි.
මා විසින් මේ අවස්ථාවේ ගැනීමට නියමිත මගේ දේශපාලන ජීවිතයේ ඉතාම සංවේදී තීරණය පිළිබඳව රත්නපුර දිස්ත්‍රක්කයේ මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට පැහැදිලි කරදීමට මා බලාපොරොත්තු වෙනවා.
මන්ත්‍රී ධුරය අත්හැරීම මගේ හිතට කිසිම බරක් නෑ. අද ඒ තීරණාත්මක අවස්ථාවට තමා මම මේ මුහුණදී සිටින්නේ. එම නිසා එම සංවේදී කාරණාව පිළිබඳව පළමු වතාවට මම මේ සභාවේදී මුළු රටම දැනුවත් කරනවා.
මා කලින් දේශපාලනය කළ කෙනෙක් නොවෙයි. මා කලින් කියූ පරිදි මගේ දේශපාලන ආගමනයත් හිදිසි අහම්බයක්. නමුත් එදා මා භාරගත්ත අභියෝගය වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වන්න මට පුලුවන් වුනා. ඒ සඳහා මා දිවා රෑ වෙහෙසුනා. ඒ නිසා තමයි මෙවැනි අතිශය තීරණාත්මක සහ සංවේදී මොහොතක පවා අපේ ජනතාවගේ අවසරයකින් හා අනුදැනුමකින් තොරව මා හට මගේ අභිමතය පරිදි මෙවැනි දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවීම මෙන්ම ඒ පිළිබඳ පසුතැවීමක් මා හට ඇති වන්නේ නැත්තේ.
එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 78යි. පසුගිය 2020 දක්වාම පක්ෂය මොනම ආකාරයකින්වත් කඩා බිඳ දමන්නට නොහැකි බලවත් පක්ෂයක් ලෙස මගේ රට තුළ ක්‍රියාත්මක වුනා. නමුත් 1951 ප්‍රථම වතාවට එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මැති තුමා එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හදපු තැන සිට හරියට අවුරුදු 40කට පස්සේ 1991 දි ලලිත් ඇතුළත් මුදලි මහතා ප්‍රමුඛ කණ්ඩායම අලියාට එරෙහිව රාජඅලියා පක්ෂය ගොඩනැගුවත් එය එක්සත් ජාතික පක්ෂය දුර්වල කරන්නට හො පරාජය කරන්නට හැකියාවක් ඔවුන්ට ලැබුනෙ නෑ.
නමුත් 2020 සමගි ජන බලවේගය හැටියට අපි අති බහුතරයක් දෙනා පක්ෂයෙන් ඉවත් වීමත් සමග තමයි පක්ෂය දෙකඩ වීම යථාර්ථයක් බවට පත් වුනේ. අපි බහුතරයක් පක්ෂය දෙකඩවීම බලාපොරොත්තු වුනේ නෑ. 1978 දි මේ රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ සිට 1994 දක්වාම අවුරුදු 17ක් මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂ නායකයින් තිදෙනෙක්. ඒ වගේම 1994දි අපේ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මැතිතුමාගේ අභාවයෙන් පසුව ඒ තත්ත්වය වෙනස් වී එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වුනා.
ඉන් පසුව පිට පිටම ජනාධිපතිවරණ තුනක් අපි පරාජයට පත් වුනා. 1994 ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණී දිසානායකගේ ඝාතනයත් සමග ජයග්‍රහණය ගිලිහුනා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය දරද්දි රනිල් වික්‍රමසිංහ මහත්මා විපක්ෂ නායක වශයෙන් කටයුතු කළා. 1999 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පරාජය වුනා. 2005 දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පරාජය වුනා. ඒ පරාජයන් දෙකම ස්වභාවික පරාජයන් නොවෙයි.
ඒ අනුව හේතුව කුමක් වුනත් පිට පිට තුන්වරක් අපි ජනාධිපතිවරණ තුනක් අපි පරාජයට පත් වුනා. ඒ අනුව පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයැයි දැඩි මතයක් පක්ෂයතුළ නිර්මාණය වුනා. 2010 දි අපි සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කරලා පරාජය වුනා. 2015 දි මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කර ජයග්‍රහණය කළා. නමුත් 2019 දී අපේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කර යළිත් පරාජය වුනා. එම පරාජයන් දෙකත් ඇත්තටම ස්වභාවික පරාජයන් නොවේ.
ඒ නිසා 2020 වනවිට අප පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට වූ අරගලය නිහඬ අරගලයක් බවට පත් වුනා. එහි ප්‍රතිඵලය වුනේ සමගි ජන බලවේගය නිර්මාණයකොට බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමයි. එදා තමයි අවුරුදු 73ක් කුමණ අභියෝග එල්ල වුනත් දෙකඩ කරන්න බැරිවුන එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුනේ. 1951 දි බණ්ඩාර නායක මැතිතුමා බැරිවුන දේ 1991 ලලිත් ඇතුළත් මුදලි ඇතුළු කණ්ඩායමට බැරි වුන දේ 2020 සජිත් ප්‍රෙමදාස මහතා ඇතුළු කණ්ඩායමට පුලුවන් වුනේ එහෙමයි.
ඒත් අද මට තියන ප්‍රශ්නය තමයි එදා එය අපට ලොකු හපන් කමක් වුනත්, පක්ෂය දෙකඩ නොවී එම ගැටලුව විසඳාගන්න බැරි වුනේ ඇයි කියන ප්‍රශ්නය අතර එළියට ආපු මන්ත්‍රීවරු අතර මමත් හිටියත් පක්ෂය දෙකඩවීම ගැන මගේ කැමැත්තක් තිබුණෙ නෑ.
සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් වශයෙන් මම ජයග්‍රහණය කළත් මම තාමත් හිතන්නේ, එදා අනාගතය ගැන හිතන්නේ නැතුව අපි ගත්ත තීන්දුව හරිද කියා. එය හැමදාම වගේ හිතට වදදෙනවා. අපේ දැවැන්ත පක්ෂය දෙකඩ කරන්නට මම දායක වුණා ද යන සිතුවිල්ල මා ලැබූ මන්ත්‍රී ධුරයේ සතුටට වඩා මට නිතර දැනුනේ දුකක් වේදනාවක් බවට පත් වෙලා.
2024 ජනාධිපතිවරණය කැඳවීමේ දී මට දැනුනේ රනිල් ද සජිත් ද කියන එක නෙමෙයි. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේ දී අපි එක්ව තරග කරනවා ද ? වෙන්ව තරග කරනවා ද කියන එකයි. මේ දෙදෙනා ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. මීට දශකයකට පෙර පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටි අතලොස්ස අතරේ මා ද සිටියා. උද්ගත වූ එම අර්බුදය මග හැරීමට නායකත්ව මන්ඩලයක් පත් කළ අතර එහි නායිකාවක් හැටියට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී මාව පත් කෙරුණා. ඒ අවස්ථාවේදීම එය ප්‍රතික්ෂේප කරමින් මා ඉන් ඉල්ලා අස් වූ බව සජිත් ප්‍රේමදාස මැතිතුමාට මතක ඇතැයි මා විශ්වාස කරනවා.
එමෙන්ම 2020 දී ඔවුන් සමග පක්ෂයෙන් එළියට බැසීමට මා තීරණය කළේ සජිත් ප්‍රේමදාස මහතා ගැන තිබුණු දැඩි විශ්වාසයකින්. ඒ නිසා අප අතර පුද්ගලික ප්‍රශ්නයක් නෑ. මේ ජනාධිපතිවරනයේ දි අපි ජයග්‍රහණය කරන්න නම් අපි එකතු වී මිස වෙන් වී තරග කිරීම ප්‍රායෝගික නොවන බව මගේ විශ්වාසයයි. ඒක තමයි මගේ හිතට වද දෙන ප්‍රධාන ගැටලුව.
2020 තිබුණ රටේ තත්ත්වට නෙමෙයි අපි මුහුණ දී තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දි සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක මට හිතාගන්න බෑ. මට වෙලාවකට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මනින් ජනාධිපතිවීමේ හදිස්සියක්වත් තියනවදෝ කියා. හැබැයි ඒ ප්‍රශ්නයට නම් අපේ ඉතිහාසයේ ඇති තරම් අපට උත්තර දී තිබෙනවා.
දේශපාලය කරනකොට ඉවසීම කොපමණ වැදගත් දි කියන කාරණය අපේම නායකයො ප්‍රායෝගිකව ඔප්පු කළ ඉතිහාසයක් තියනවා. දැන්වත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ මවු පක්ෂය උන එක්සත් ජාතික පක්ෂයේ සිටි දැවැන්තම චරිතය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. එතුමා මෙරට නායකයා වන්නේ අවුරුදු 71 දී. 1947 දි අපේ පක්ෂය බිහි කරන අවස්ථාවෙදි එහි දැවැන්ත චරිතයක් වූ එතුමා පක්ෂයෙ නායකත්වය ගන්න අවුරුදු 30ක් ඉවසුවා. දේශපාලනයේ දී ඉවසීම තරම් වටිනා වෙන දෙයක් නෑ.
තමන් කොච්චර අපරිනත වුවත් තමන්ගේ අපරිනත බව ජනතාව අතරේ කතා බහට ලක් වුනත් ඒ ගැන වගේ වගක් නැහැ. කොහොම හරි තමන්ට රටේ නායකයා වෙන්න ඕන. ඊට කාලය හරිද පරිසරය හරිද , එය වැරදුනොත් විය හැකි විනාශය කොයිවගේ ද එය ප්‍රතිපූර්ණය කළ හැකි දෙයක් ද, එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුලුවන් ද වගේ කරුණු ගැන කිසිම සොයා බැලීමක් නෑ . අඩුම ගනනේ තමන් තුළ ඊට අවශ්‍ය නායකත්ව ගුණාංග තියනව ද කියලා හිතන්නටවත් වෙහෙසෙන්නේ නෑ. ඉතාම අපරිනත ආකාරයේ කෘත්‍රිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩපිළිවෙළක් සැලැස්මක් ඔළුවෙ නෑ.
මේක දැන් මේ රටට අලුත් දෙයක් නොවෙයි. ඒ බව ගිය වතාවේ ඇස් පනාපිටම ඔප්පු කළ නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ නිසාද මේ කරන්නේ. මේ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ දෙවැනි කොටස රඟ දක්වන්න ද කියලා මට හිතෙනවා. ඒ හින්දා අඩුම ගණනේ මේ රටේ දේශපාලනඥයො ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ඕන. ගෝඨාභය කෘතිම රැල්ලක් ඇති කර ජනාධිපති වෙලා රටත් බංකොලොත් කර ජනතාවත් අතරමං කර තමනුත් දේශපානික වශයෙන් සිය දිවි හානි කරගත්තු විදිහ හරිම අපූරුයි.
ඔබත් අදම ගෝඨාභය කියවන්න. ඔහු ලියපු පොත නෙමෙයි. මුළු රටම දන්න ඔහු ගැන ඇත්ත කතාව කියවන්න. ආණ්ඩුවක් දුර්වලවෙනකොට ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ජනතාව සිහින ලෝකයක අතරමංකර ඉක්මනින් බලයට එන්න උත්සාහ කරන සියලුම දේශපාලකයින්ට ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ආදර්ශය ඉතාම වැදගත්.
ඒ නිසා අද මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් සමුගන්නා මේ සංවේදී අවස්ථාවේදී මට කියන්න ප්‍රධාන ගැටලු කීපයක් සඳහන් කරන්න කැමතියි. පළමු කාරණාව තමයි එදා සියයට 3ක් වු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය ලෙස පුළුල් කඳවුරක් බවට පත් වෙමින් තියෙද්දි එදා මේ රටේ තිබූ දැවැන්තම දේශපාලන පක්ෂය සහ දේශපාලන කඳවුර වූ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී ඇත්තෙ ඇයි කියන එක අපේ ඔලුවේ වැඩ කරනවා.
අපේ පක්ෂයේ හිටපු නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් තරගකරුවො වෙලා. ඉතින් එහෙම එකම කඳවුර දෙකට බෙදිලා දෙදෙනෙක් තරග කරනවා කියන්නේ දැන දැනම කරන ඔළමොට්ටල වැඩක් නෙමෙයි ද?.
දෙවැනි කාරණය ඉතාම වැදගත්. මුළු රටම දන්න දෙයක් තමයි එදා අපේ කඳවුර දෙකඩ වන්න හේතුව කිසිම ප්‍රතිපත්තිමය හේතුවක් නොවෙයි. පක්ෂය තුළ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීම නිසා නායකත්වය පිළිබඳ වූ ආරවුල… නමුත් ඔහු මේ රටේ ජනාධිපතිවරයා ලෙස දැන් පත් වෙලා ඉන්නේ. ඔහුත් සමග සිටි රාජපක්ෂ කණ්ඩායම ඔහුගෙන් ඉවත් වෙලා දැන් වෙනම තරග කරනවා. ස්වභාධර්මය විසින්ම සියලු බාධක ඉවත් කර අපේ නිසැක ජයග්‍රහණය බන්දේසියක තබා පිළිගන්වා තිබිය දී ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ.
ඇයි මේ සරල සත්‍ය තේරුම් ගන්න බැරි. මේ ජනාධිපතිවරණයේ දී අප වෙත පැවරුණ ඓතිහාසික ජාතික යුතුකම සහ වගකීම වී තිබුණේ අපි දෙපාර්ශවය එකතු වී ශක්තිමත් වී රටේ දැවැන්ත දේශපාලන බලවේගය සාදා එය ජයග්‍රහණය කර රට ජයග්‍රහණය කරවීමයි. එය වහාම ක්‍රියාත්මක විය යුතුව තිබුණු දෙයක්. ඇයි අපට මේක තේරුම් ගන්න බැරි. ඇයි අනවශ්‍ය අවදානමක් ගත්තේ. එකම කඳවුරෙන් දෙන්නෙක් තරග කරන්නට ගත් තීරණය නිසා රටේ ජනාධිපතිවීම කෙසේ වෙතත් මේ පාර පැරදුනොත් අපි සියලු දෙනාගෙම සිය දිවි නසා ගැනීමක් බව මගේ හැඟීමයි. ඇයි මේ තිත්ත ඇත්ත අපට තේරුම් ගන්න බැරි.
තුන්වැනි කාරණය නම් මෙරට උතුරු නැගෙනහිර ඉන්න ද්‍රවිඩ මුස්ලිම් ජනතාවගේ අලුත්ම තත්ත්වය ගැන මම යමක් සඳහන් කළ යුතුයි. එදා 2005 ජනාධිපතිවරණයේ දී අපේ පේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වීමට ප්‍රබලම හේතුව වුනේ රාජපක්ෂ කණ්ඩායමේ ඡන්ද වර්ජනයයි. එදා ඔවුන්ගෙන් වූ වරද ඔවුන් නිවැරදි කරගන්නා බව මට සහතිකයි. ඒත් කාලාන්තරයක් තිස්සේ අපේ කඳවුරට ඡන්දය පාවිච්චි කරන්න ඉන්න ඔවුන්ටත් අද උභතෝකෝටිකයක් හදලා දීලා තියනවා.
හතරවන කාරණාව ඉතාම වැදගත් එකක්. රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ චෝනාව හොරු සමග වාසේ කියලා. අපේ සජබයට ඒ පාරා වළලක් වෙලා. එදා ඔහුට චෝදනා කළේ හොරු රකිමින් හොරු සමග ආණ්ඩු කිරීම කියලා. දැන් මොකද වෙන්නේ. එදා හොරුන්ගෙ නැවෙන් ගිලෙන විට ඒ නැවෙන් පැන්න හොරු දූෂිතයින් ඉවක් බවක් නැතිව දැන් සමගි ජන බලවේගයට ඇතුළු වෙලා. එකේ තව බරපතල පැත්තකුත් තියනවා. එදා ඔය හොරු ටික ජයග්‍රාහී ගෝඨාභය රාජපක්ෂ සමග ආණ්ඩු කරද්දි 2019 දි අප ලැබුව පරාජයෙ සිට මේ දක්වා ලේ කඳුළු දහදිය වගුරවමින් සමගි ජන බලවේගයෙත් එහි නායකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙත් ආරක්ෂා කරගත් මුල් සාමාජිකයින් පිරිසට වර්ථමානයේ සිදුවන හොරුන්ගේ දූෂිතයින්ගේ ආගමනයත් එක්ක දැඩි කලකිරීමට ලක්වීම සහ කොන් වීමයි.
ඒ සමග අප දකින අපූරු දර්ශනයක් තමයි කාලයක් මරාගතත් නයි මුගටි දෙගොල්ල ඔවුන් ගසාගෙන යන සැඩ පහරින් බේරෙන්න සජබ නැමති කොටේට නැගලා ඒක තදින් දරාගන්න දරන උත්සාහය. එතන දේශපාලන නයි මුගටි විතරක් නොව, ක්‍රිඩාවෙ නයි මුගටි, ව්‍යාපාරවල නයි මුගටි ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නයි මුගටි එකතු වෙලා ඉන්නවා. මට නම් මේ තත්ත්වය ඇත්තටම ඉවසන්න අමාරුයි.
අපේ දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරු වුන ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනාම බලය සඳහා ඉවසන්න කියන පාඩම කියලා දුන්න අය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා මේ රටේ ජනාධිපති වුනේම ඒ ඉවසීමේ ගුණය ඔහුට තිබුණ නිසා. කොළඹ නගර සභාවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස පටන් ගත්ත තමන්ගේ දේශපාලන ගමන ඔහු අවසන් කළේ ජනාධිපති පුටුවට ඇවිල්ලා. ඒ ගමන ආවේ මල්පාවඩ සහිත සුන්දර මාවතක නොවෙයි. මෙතෙක් මේ රටේ කිසිම දේශපාලකයෙක් මුහුණ නුදුන් බරපතල අභියෝග රැසකට එතුමා එදා මුහුණ දුන්නා. නින්දා අපහාස අනන්ත අහගත්තා. දෝෂාභියෝගය වෙලාවෙදි රනිල් වික්‍රමසිංහ මැතුතිමා සභා නායකවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් පෙන ීසිටියා. ඒ විතරක් නෙමෙයි ප්‍රේමදාස මැතිතුමාගෙ හදිසි අභාවය වෙලාවෙදි ආණ්ඩුව කඩා වැටෙන්න නොදී ඒක බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වෙලාවෙ තමයි පළමු වතාවට අනුප්‍රාප්තික ජනාධිපති ධූරයේ අත්දැකීම් අපට ලැබුණේ. එදා පාර්ලිමේන්තුව ජනාධිපති ධූරය තේරුවේ නිතරගයෙන්.
එදා පාර්ලිමේන්තුවෙ සභානායකවරයාට අගමැති ධූරය දී අගගමැති ඩී.බී.විජේතුන්ග මහත්මයා ජනාධිපති කරන්න යෝජනා කළා. ඊට සහයෝගය දෙන්න විපක්ෂය කැමති වුනා. එදා විපක්ෂය මස් රාත්තලම ඉල්ලුවා නම් එජාප ආණ්ඩුව පෙරලන්න හොඳටම ඉඩ තිබුණා.
මේ වගේ ආදර්ශමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙද්දි මොකක්ද අපට සිද්ධ වෙලා තියෙන්නේ. රට වෙනුවෙන් පක්ෂය වෙනුවනේ විතරක් නෙමෙයි තමන්ගේම දේශපාලන අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තව අවුරුදු 05ක් ඉවසන්න පුලුවන් වුනා නම් අද අපට මේ ධරුණු අභියෝගය නෑ.
මම සජිත් ප්‍රේමදාස මැතිතුමා ට කියන්නේ ඔබව ඔය අගාධයට තල්ලු කරන අයගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ ඔබව ජනාධිපති කරන එක නෙමෙයි. ඔවුන් ඊලග පාර පාර්ලිමේන්තුවට එන එක. ඒක අපේ පක්ෂය බිලි දෙනවා දකින්න මට බෑ, එය හොඳන් තේරුම් ගන්න කියලා මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා.







