ඇමරිකානු ගුවන් සේවයේ කලාපීය මගී ජෙට් යානයක් සහ එක්සත් ජනපද හමුදා බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක් ඊයේ (29) රාත්‍රියේ ගුවනේදී ගැටීමෙන් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට නුදුරු පොටෝමැක් ගඟට කඩා වැටී බරපතල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත පැවසුවේ මළ සිරුරු කිහිපයක් ජලයෙන් ඉවත් කර ඇති බවය. පොටෝමැක් ගඟෙන් තුවාලකරුවන් සිවු දෙනෙක් ගොඩගෙන රෝහල්ගත කර ඇති බව .එන්බීසී කීවේය.
ටෙක්සාස්හි සෙනෙට් සභික ටෙඩ් කෲස් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ “මරණ සංඛ්‍යාව අපි දනිමු” ලෙසය. නමුත් ඔහු කොපමණ සංඛ්‍යාවක් දැයි සඳහන් කළේ නැත.
ඇමරිකානු ගුවන් සේවයේ මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සිටි බවය. හෙලිකොප්ටරයේ සොල්දාදුවන් තිදෙනෙකු සිටි බව එක්සත් ජනපද නිලධාරියෙක් පැවසීය.

2009 පෙබරවාරි මාසයේ සිට එක්සත් ජනපදයේ මාරාන්තික මගී ගුවන් අනතුරක් සිදුවී නොමැති නමුත් මෑත වසරවල සිදු වූ අතපසු වීම් මාලාවක් බරපතල ආරක්ෂක ගැටලු මතු කර ඇතැයි විදෙස් ප්රවෘත්ති ඒජන්සි පවසයි.
වොෂින්ටනයේ කෙනඩි මධ්‍යස්ථානයෙන් ලබාගත් වෙබ් කැමරාවකින් පොටෝමැක් ගඟ ආසන්නයේ ගුවනේදී පිපිරීමක් පෙන්නුම් කරන ආකාරය ය. ගිනිගෙන ඇති ගුවන් යානයක් වේගයෙන් කඩා වැටෙන බව ඉන් පෙන්වා ඇත.
රේගන් වොෂිටන් ගුවන්තොටුපල වෙත ළඟා වෙමින් සිටියදී PSA ගුවන් සේවයේ කලාපීය ජෙට් යානයක් හෙලිකොප්ටරය සමඟ ගුවනේදී ගැටුණු බව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසීය.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට අනුව, කැන්සාස් හි විචිටා සිට පිටත් වූ ඇමරිකානු ගුවන් සේවයේ PSA 5342 ගුවන් යානය රේගන් ගුවන් තොටුපලට පැමිණීමට නියමිතව තිබී ඇත.
මේ අතර ගුවන් තොටුපළට මායිම්ව ඇති පොටොමැක් ගඟේ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආයතන රැසක් සම්බන්ධ වී ක්‍රියාත්මක වෙමින් පැවති බව පොලිසිය පවසා තිබේ.
පොලිස් ගිලන් රථ, බෝට්ටු, කුඩා නැව් සහිත ගලවා ගැනීමේ ඒකක දුසිම් ගණනක් ගලවාගැනීමෙ මෙහෙයුම්හි දියත්වන ආකාරය රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගුවන් යානා අනතුරකට හදිසි සේවකයින් ප්‍රතිචාර දැක්වීම නිසා සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් නතර කර තිබේ.
ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පැවසුවේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින බවයි.







