කැබිනට් අමාත්‍යවරයකුට නියමිත ආරක්ෂක භටයන් සංඛ්‍යාව අතිශයයෙන්ම ඉක්මවමින් අතිරේකව විශේෂ කාර්ය බලකා සෙබළුන් 74 දෙනකු තම ආරක්ෂාව සඳහා එක්තරා අමාත්‍යවරයකු විසින් යොදවා ගනු ලැබ ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්වකීය ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශවලින් හො වෙනත් කිසිදු ඒකකයකින් තර්ජනයක් පවතින බවට කිසිදු ඇගයීමක් නොමැති පසුබිමක් තුළ මෙම අමාත්‍යවරයාට විශේෂ කාර්ය සාධක බලකා සෙබළුන් 74 දෙනකු යෙදවීමට සිදුවීම පිළිබඳව මේ වනවිට ආරක්ෂක අංශයන් තුළද කතා බහට ලක්ව ඇති බව මේ පිළිබඳව කරුණු හෙළි කළ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.
අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙත විශේෂ ආරක්ෂාවක් සැලසුණද වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය මත සාමාන්‍යයෙන් කැබිනට් අමාත්‍යවරයකුට හිමි වන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ විශේෂ ආරක්ෂක දිසාවේ ( පෙර ඇමති ආරක්ෂක අංශ) නිලදාරීන් 07ක් ලෙස සම්පූර්ණ ගණන නවයකි.
මීට අමතරව පවතින තර්ජනවලට අනුව විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව සහිත අමාත්‍යවරුද සිටිති.
එම ආරක්ෂාව සඳහා නිර්දේශවී ඇති අමාත්‍යවරුන් කිහිප දෙනකුද සිටින අතර කිසිදු අමාත්‍යවරයකුට 74ක් වැනි වශාල සංඛ්‍යාවක් නිර්දේශ වී නැත.
එවැනි පසුබිමක් තුළ එක් ඇමතිවරයකු මෙලෙස විශාල සෙබළුන් පිරිසක් සැපයීම තුළ පරිපාලනමය ගැටලුද උද්ගතව ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.







