ආණ්ඩුවේ ඇමති ධුර ලබා නොගැනීමට පක්ෂය ගත් තීන්දුව කඩ කරමින් ඇමති ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස් දෙනාට කඩිනම් විනය පරීක්ෂණ කැඳවීමට පක්ෂය තීරණය කර ඇත. ඔවුන් පක්ෂයේ සියලු තනතුරුවලින් මෙන්ම පක්ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා හැරිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත යොජනා කර ඇත.
මෙම යෝජනා පිළිබඳව විශේෂ රැස්වීමක් පසුගිය සතියේ පැවැත්වුණු අතර එහිදී තීරණය කර ඇත්තේ මෙම විනය පරීක්ෂණ පවත්වා ඔවුන් මෙම පක්ෂයෙන් ඉවත් කර දැමීමටය. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් සහ ජගත් පුෂ්පකුමාර යන ඇමතිවරුන් විනය පරීක්සණයට ලක්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඉහත අකාරයේ ඇමති ධුර ලබා ගත් ඇමතිවරයකුගෙන් ලංකාසර කළ විමසීමකදී ඔහු කියා සිටියේ වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා තම කණ්ඩායම ආණ්ඩුවට එක්ව ඇමතිධුර ලබා ගැනීමට තීරණය කළ බවයි. ඇමතිධුර ලබා ගැනීමට යන අවස්ථාවේදී පවා පක්ෂය දැනුවත් කරමින් තමන් එම ධුර ලබා ගත් බවත් ඒ අනුව තම කණ්ඩායම හිතුමතේට පක්ෂයෙන් හෝ දරණ තනතුරුවලින් ඉවත් කිරීමට ව්‍යවස්ථානුකූලව පැවරී නැතැයි එම අමාත්‍යවරයා පැවසීය.