ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවන ලද වැඩ තහනමක් නොතකා සේවය කරමින්න ආන්දෝලනයට ලක්වූ අධිකරණ වෛද්‍ය තීන්දු කීපයක් ප්‍රකාශයට පත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) විශේෂඥ වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.
මෙම තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිය පසුගිය 17 වැනිදා ලැබුණු නමුත් අනිවාර්ය නිවාඩු ලබා දීමට නිශ්චිත හේතුව එම ලිපියේ පැහැදිලිව සඳහන් කර නොමැති බව විශේෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
එසේ වුවද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇතැයි ඩේලි මිරර් පවසයි.
වෛද්‍ය රුහුල් හක් යනු දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, පසුගිය දා රිජ්වේ ආර්යා රෝහලේ වකුගඩු සැත්කමකින් තෙහැවිරිදි දරුවකු මියයාම, වර්ෂ 2013 දී කොළඹ පුද්ගලික රෝහලක සිදුවූ පස් හැවිරිදි දැරියකගේ මරණය, වර්ෂ 2014 දී නිදහස් වෙළඳ කලාපයේ සේවකයෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මිය යෑම වැනි සිද්ධීන් වලදී ලබා දුන් මතභේදාත්මක හා පරස්පර විරෝධී පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයට ලක් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා ය.
මේ පසුබිමේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් වෙත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පැනවූ සේවා තහනම හෙට (20) ඉවත් විමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙම වෛද්‍ය නිලධාරියාගේ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධව ඇගයීමක් කර 2022 දෙසැම්බර් 20 සිට මාස 08ක කාලයකට සේවය අත්හිටුවීමට නියෝග කළේය. කෙසේ වෙතත්, අත්හිටුවීම නොතකා, ඔහු පසුගිය මාස අට තුළ සැලකිය යුතු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළේය.
ඒ අතර දැඩි විවේචනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම ළමා රෝහලේ වකුගඩු ශල්යකර්මයකදි මිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ විය.