ශ්‍රියානි විජේසිංහ –
මෙරටට ආනයනය කරනු ලබන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමටත් වෙළෙඳසල්වල අලෙවි කිරීමට අවසර නොදීමටත් පියවර ගත යුතු බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබෙන බව ඇමතිවරයා පෙන්වාදේ.
කුරුළු උණ වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවත් එම තත්ත්වය වැළැක්වීම සඳහා තවදුරටත් සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බවත් ඇමතිවරයා අවධාරණය කරයි..
ඒ අනුව බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසත් අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවලට උපදෙස් ලබා දී ඇත.
බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත් බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීමත් සිදු කළ යුතු බවට මෙන්ම ඉතිරිවන බිත්තර කටු කිසිසේත් පරිසරයට මුදා නොහැරීමත් මෙම උපදෙස් මාලාවට ඇතුළත් කළ යුතුයැයිද ඇමතිවරයා පෙන්වාදේ.







