රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න පවසයි.
එසේම, සියළුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබා දීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බව සඳහන් සංශෝධනය සමඟ රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000.00ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමඟ මුළු වැටුප රුපියල් 55,000.00ක් වන බව ද කියා සිටියේය.
වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මෙම අදහස් පළ කළේ, “ස්ථාවර රටකට – සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් පසුගිය කාලවලදි සිදු කළ රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග සලකා බලා වැටුප් විෂමතා නැති කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් උදය ආර්.සෙනෙවිරත්න පෙන්වා දුන්නේය.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා රාජ්‍ය සේවය ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එය සංවර්ධනයේ ගාමක බලවේගය ද වන බවය.
වර්තමානයේ රාජ්‍ය සේවයේ පවතින සියළුම අභියෝග ජය ගැනීම සඳහා සිදුකළ යුතු ප්‍රතිනිර්මාණකරණයන් සඳහා ප්‍රමුඛත්වයක් රජය ලබා දෙනු ලබන අතර, රාජ්‍ය සේවකයින් සඳහා තෘප්තිමත් රැකියා පරිසරයක් ද, ජනතාවට විශිෂ්ඨ සේවයක් ද, ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ගාමක බලවේගය බවට පත් කිරීම සඳහා පුළුල් වූ වැඩසටහනක් ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂ කමිටුව ඉදිරිපත් කරන බව සභාපතිවරයා පවසයි..







