ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයට ඉක්මන් විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රජයට කශේරුකාවක් තිබිය යුතු බවත් මෙය නිති විරෝධී වැඩ වර්ජනයක් නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතියද ඔවුන් සතුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදේ.
මේ සම්බන්ධයෙන් රජය හෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉක්මන් විසඳුමක් ලබා නොදෙන තාක්කල් සිදුවන්නේ රෝගින් අපහසුවට පත්වීමක් පමණක් යැයිද සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ආර්ථික යුක්තිය ඉටුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුන පුනා ප්‍රකාශ කළ බවත් එතැනදී තමන්ට ආවේනික ලැබිය යුතු දීමනාවන් පමණක් ලබා ගැනීමට ඉදිරිපත් විය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
නමුත් මුල සිටම සිදුව ඇත්තේ වෛද්‍යවරුන්ට පමණක් ආවේනින DAT දීමනාව ඔවුන්ටත් ලබා දෙන ලෙස ඉල්ලමින් සටන් වැදීමක් යැයිද වෛද්‍ය චමිල් පවසා සිටියි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සැබෑ ගැටලු පාගාගෙන වෘත්තීය සමිති නායකයින් කීපදෙනෙකු තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් , දේශපාලන ඉලක්ක ඉටු කර ගැනීමට යන ආකාරයක් පෙනෙන්නට තිබෙන බවද හෙතෙම පවසයි.
වැඩ වර්ජනයක් යනු කිසියම් ඉල්ලීමක අන්තිම තුරුම්පුව වන අතර නින්දෙන් නැගිට්ටා සේ සිදුකරන වැඩවර්ජන හේතුවෙන් සිදුවන්නේ වෘත්තීය සමිති හෑල්ලුවට ලක්වීමක් යැයිද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණයෙන් පවසයි.







