ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එම හමුව අද පෙරවරු 10.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවත්වීමට නියමිතය.
මෙම රැස්වීම විශේෂ රැස්වීමක් බවට ආරංචි මාර්ග සඳහන් කරන අතර ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම පිළිබඳව මෙහිදී අධානයට ලක්වනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වනවිට ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් සම්බන්ධයෙන් යම් යම් ගැටලුද නිර්මාණය වී ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් වීම සඳහා රජය විසින් පළ කරන ද දැන්වීමට අනුව මේ වනවිට ඉල්ලුම් පත් තුන් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.