පන්ජාබ් පළාතේ සියල්කොට් නගරයේ දී දේව අපහාස කිරීමක් නිසා කර්මාන්තශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනට පහරදී අමානුෂික ඝාතනය කිරීමෙන් දෙමසකට පසු පන්ජාබ් පළාතේම ඛානේවාල්හි දී දේව අපහාස කරන ලදැයි චෝදනා ලද පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේ සිටිය දී පැහැරගෙන ගොස් අමානුෂිකව මරා දමා තිබේ.
ඛානේවාල් යනු ලාහෝර් සිට නිරිත දෙසින් සැතපුම් 170 (275km) දුරින් පිහිටා ඇති නගරයකි.
පසුගිය සෙනසුරාදා සිදුවී ඇති මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
කුරාණයේ පිටුවක් පිලිස්සූ බවට චොදනා ලබා පොලිස් අත්අඩංගුවේ සිටියදී මැර පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ මෙම පුද්ගලයා මානසික රෝගී තත්වයෙන් පෙළුන අයෙකි. පොලිස් නිලධාරි මුනාවර් හුසේන් පැවසුවේ, පැහැරගෙන ගොස් සිටි මෙම 40 හැවිරිදි පුද්ගලයා සොයා ගැනීමට නිලධාරීන් පැමිණෙන විටත් ඔහුව මරා දමා තිබූ බවය.
“පොලුවලින්, පොරවවල් වලින් සහ යකඩ පොලුවලින් සන්නද්ධ ගම්වැසියන් ඔහුව මරා දාලා ඔහුගේ සිරුර ගසක එල්ලා තබලා,” හුසේන් රොයිටර් පුවත් සේවයට පැවසීය. වින්දිතයා “පසුගිය වසර 15 තුළ මානසිකව අස්ථායීව සිටි අයෙක්” . සිද්ධිය වූ තුලම්බා පොලිස් ස්ථානයේ ප්‍රධානී මුනවර් ගුජ්ජාර් AP පුවත් සේවයට කීවේය.
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ මෙම සිද්ධිය “නීතියේ පූර්ණ බලතල ඇතිව ක්‍රියාකරනු ඇති” බවත්, මෙම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අපොහොසත් වූ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටින බවත්ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඔහුගේ රජය “ඕනෑම අයෙකු නීතිය අතට ගැනීම නොඉවසන” බව ය.