අඩු ආදායම් ලාභීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය යටතේ ක්‍රියාත්මකවන සමෘද්ධි ප්‍රජාමූල සමිතියක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා එක්ව අඩු ආදායම් ලාභීන්ගේ ආදායම් තත්වය නැන්වීම සහ රාජ්‍ය ආදායම අරමුණු කරගෙන නුවරඑළිය මවුන්ජින් වත්තේ රජයේ භූමියක දියත් කර ඇති මැණික් ගැරීමේ ව්‍යාපෘතියක් එම අධිකාරිය භාර රාජ්‍ය ඇමති සහ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ මාමණ්ඩියක් විසින් ස්වකීය මැරයින් යොදා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි අඹගමුව ප්‍රාදේශීය සභාව පවසයි.
පොදුජන පෙරමුණේ බලය සහිත අඹගමුව ප්‍රාදේශීය සභාව මේ මැරයන්ගේ බලහත්කාරකමට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන ඇති බවත් හෙට ( 27) ඔවුන්ට එරෙහිව විරෝධතාවයක් දක්වන බවත් වාර්තා වේ
ගම්මුන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
320/F වටවල ග්‍රාම නිලධාරී වසමේ මවුන්ජින් වත්තේ මහවැලි ගඟ ආශ්‍රිතව රජය සතු ඉඩමක ඇරඹූ මෙම ප්‍රජාමූල නියමු ව්‍යාපෘතියේ අරමුණ වූයේ අඩු ආදායම් ලාභී ප්‍රදේශ වාසී අසරණයින්ගේ ආර්ථික තත්වය ඉහළ දැමන අතර රජයේ ආදායම වැඩි කිරීමය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා එක් වී මේ ව්‍යාපෘතිය දියත් වී තිබිණි.
මේ අතර පිටස්තර පුද්ගලයෙක් ප්‍රජාමූල සමිතියක් හරහා මෙම ව්‍යාපෘති භූමියේ පර්චස් 40ක ඉඩක් සඳහා මැණික් ගැරීමේ බලපත්‍රයක් සකස් කරගෙන පැමිණ තවත් කණ්ඩායමක් සමග එක්ව බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දිවා රෑ නැතිව කොටස් 09කින් සමන්විත මේ වටිනා මැණික් භූමියේ අක්කර 2ක පුරාම මැණික් ගැරීම ආරම්භ කර තිබේ.
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සිදුකරන මේ අනීතික කටයුත්තට එරෙහිව ගම්වාසීන් පෙළ ගැසී මේ ජාවාරම කරගෙන යන පුද්ගලයින් කීපදෙනෙක් අල්ලාගෙන තිබේ.
ඔවුන් ගම්වැසි පුද්ගලයින්ට තර්ජන කර ඇත්තේ තමන් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ගේ මිනිසුන් බවත් තමන්ට අත තිබ්බොත් සිදුවිය හැකි දේ බලා ගත හැකි බවත්ය.
සිද්ධිය සම්බන්ධව මේ කණ්ඩායම පොලිසියට පැමිණිලි කළත් වටවල පොලිසිය නිසි ලෙස රාජකාරි කර තිබුණේ නැත. අවසානයේ දී ගම් වැසියෝ උද්ඝෝෂණයක නිතර වී තිබුණහ. ඒ 2021. 08. 09 දා… වටවල පොලිසිය සිදුකර තිබුණේ මේ මැණික් අපරාධකරුවන්ට එරෙහි වනවා වෙනුවට උද්ඝෝෂණය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට දැමීමය.
මේ අතර ප්‍රාදේශීය සභාව මගින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තවත් අධ්‍යක්ෂවරයෙක් මේ ජාවාරම ගැන දැනුම්වත් වී ඇත. ඔහු අණ්ඩුවේ හවුල්කාර පක්ෂයක කැබිනට් ඇමතිවරයෙකුගේ නියෝජනයක් ලෙස මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූවෙකි.
සිද්ධිය වන තැනට මේ අධ්‍යක්ෂවරයා ගොස් කතා කරන්නට ගිය විට ලොහාන් රත්වත්තෙ ඇමතිවරයාගේ හිතවතුන් බව කී මැරයින් ඔහුට අල්ලාගෙන පහර දී ඇත.
“ මේ ගැන දිස්ත්‍රික් ලේකම් තුමාට, ප්‍රාදේශීය ලේකම් තුමාට, 2021.07 25 ලිඛිතව මේ සංගම්වල අය විරෝධතාවය දක්වලා තිබුණා. ඊට පස්සෙ උද්ඝෝෂණ කළා. මේ බලපත්‍රය ව්‍යාපාරිකයන්ට ලබා දුන් සමිතියටත්, මේ ක්‍රියාවටත් අපි දිගින් දිගටම විරෝධතාවය දැක්වුවා. එත් රාජ්‍ය නිලධාරීන් කට හොල්ලන්නෙ නෑ. මේ වෙනකොටත් මෙතනින් වටිනා මැණික් ප්‍රමාණයක් අරන් ගියා කියලා අපි විශ්වාස කරනව.“
“අපි පාරට බහිනවා. ලොහාන් රත්වත්තෙ ඇමති ගෙ ගෝලයො පුද්ගලික ආරක්ෂකයො කියන අය පාතාලයෝ වගේ… නීතිය ඒ අය අතට අරන්. තව කොළඹින් ආව මැරයො පිරිසක් ඉන්නවා. ඇහුවාම කියන්නෙ ඇමතිගෙ අය කියලා. පොලිසියත් බීරො වගේ… අපිට වෙන කරන්න දෙයක් නෑ. අපි මේ ගැන පක්ෂ මූලස්ථානෙටත් දන්වලා තියෙන්නේ….“
අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ගම්මු ඔවුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය හෙට ආරම්භ කරන බවත් එම ප්‍රකාශකයා කියනු ලැබුවේය.