නිදහස ලැබී 75 වසරක් සම්පූර්ණවන අවස්ථාවේ අප සිටින්නේ ලෝකයට මුහුණ දිය නොහැකි තත්ත්වයක බවත් ජාතිකව සමාජයීයව හා දේශපාලනිකව පිරීහී ගිය ජාතිය තවදුරටත් තට්ටු මාරු දේශපාලනයෙන් ගොඩගත නොහැකි ආකාරය ජනතාව තේරුම්ගෙන ඇති බවත් හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ පැවසුවේය. පිටකෝට්ටේ සෝලියස් ශාලාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ මේ සමාජ වෙනස දකින ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තැති ගෙන ඇති බවය.
ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මෙසේ ද පැවසුවේය.
අපට මනාව පැහැදිලියි ආණ්ඩුව ඡන්දය නොපවත්වන්න කළ හැකි සියලුම දේවල් කරමින් සිටින බව. ඒ ක්‍රියාදාමයේදි රාජ්‍ය නිලධාරීන් වන අපි ජනතාවට වගකියන්න සහ වගවීමට අවශ්‍යයි. අද මේ කාර්යයට සම්බන්ධ ප්‍රධාන ආයතනවල සිටින නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව, තමන්ගේ රාජකාරි පටිපාටියට විරුද්ධව එය නොසලකා තමන් නටවන කෙනෙකුගේ උවමනා එපාකම් අනුව කටයුතු කරනවා.
ඇයි මේ තරම් ඡන්දයට බය. නිදහස ලැබිලා අවුරුදු 75ක් වෙන අපි ලෝකයට මුහුණ දිය නොහැකි තත්වයක ඉන්නවා. ආර්ථික, සමාජීය, දේශපාලන වශයෙන් අන්තයටම පිරිහිලා. මේ පිරිහීම රටේ ජනතාව මෑතකදී අවබෝධ කරගෙන තිබෙනවා. ජනතාව දන්නවා තට්ටු මාරුකරලා හරියන්නේ නැහැ. මේකට වෙනම විසඳුමක් අවශ්‍යයි කියලා. ඒ විසඳුම ගන්න ජනතාව සැදී පැහැදී සිටින අවස්ථාවේ පාලකයන් බයවෙලා ජනතාවට ඒ අවස්ථාව ලබානොදී සිටීමටයි මේ කටයුතු කරමින් ඉන්නේ.
ගෝඨාභය ඉවත් කිරීමෙන් පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ අයවැයෙන් මේ රටේ ජනතාවට තව තවත් බදු ගහමින් භාණ්ඩාගාරය පුරවා ගැනීමට සූරාකනවා. විදුලි බිල වැඩි කළා. ඒක සෑම භාණ්ඩ මිල ඉහළ යාමකට බලපානවා. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ, ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරමින් ඉන්නවා. මෙවන් අවසථාවල තමයි මහජනතාවට මේ ක්‍රමය ඉවත් කර, තමන් කැමති වෙනත් පාලක කණ්ඩායමක් පත්කර ගන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ. ඒක සිදුකිරීමට මහජනතාව සූදානම් වෙන නිසාම ඇතිවූ බයට මේ මැතිවරණ කල්දාන්න වැඩපිළිවෙළ දියත් කරමින් ඉන්නවා.
මේ විනාශයට පත්කර ඇති රට ගොඩනගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැහැ. මේ රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් ඉන්නවා. ප්‍රාදේශීය සභා, නගර සභා පමණක් නොවෙයි පාර්ලිමේන්තු බලයත් ජාතික ජන බලවේගය ලබා ගන්නවා.
මේ වසර අවසාන වීමට පෙර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවනවා.