දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන හානි බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත ඊයේ (13 ) පෙත්සමක් යවා තිබේ.
උතුරේ එක්සත් ධීවර සමීති සංගම් එකමුතුව නියෝජනය කරමින් මේම පෙත්සම එහි සභාපති ඒ. අන්නාරාසා විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත බාරදී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවීම පිණිසය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලඟදීම ඉන්දියාවේ සංචාරයක් අරඹන බැවින් එහිදී පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට අවසන් විසදුමක් ලබා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමීති එකමුතුව ඉල්ලා ඇත.
ඉන්දීය ධීවරයින් බලහත් කාරයෙන් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන අතර වාරයේ චීන ධීවර සමාගම් ශ්‍රී ලංකාවේ දකුණේ ධීවර සංගම් තුළට රිංගා නීති විරෝධී ලෙස මසුන් මැරීම නිසා උතුරේ ධීවරයින්ට හා ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බවත්, මේ ගැටලු ඉන්දීය හා ශ්‍රී ලංකා නායකයින් විසින් සාකච්ඡා කොට අවසන් නිගමනයකට පැමිණිය යුතු බවත් උතුරේ ධීවර සමීති පෙන්වා දෙයි.
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන විවිධ බලපෑම් වසර හතළිහකටත් වඩා වැඩි කාලයක් සිදු වන නිසා මේ ප්‍රශ්නය විසදා ගැනීමට රටවල් දෙකම ලබා ගත් කාලය හොඳටම ප්‍රමාණවත් බව ධීවර සංගම් පවසයි. ඒ නිසා මෙවර එම ප්‍රශවලට ස්ථිර විසඳුමක් ලබා ගන්නා ලෙසද උතුරේ ධීවර සංගමය විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.







