දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් විපතට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් වවුනියාවේ නිර්මාණය කළ ශ්‍රී නගර් ග්‍රාමයේ වැසියන්ට ස්ථිර නිවාස වැසිකිළි පාසල් හා ක්‍රීඩාංගණ නොමැති බව කියමින් ගම්මානයේ පිරිසක් ඊයේ (19) වවුනියාව නගරයේ විරෝධතාවයක නිරත වූහ.
ඔවුන් මීට පෙර ගම්මානයට අවශ්‍ය පහසුකම් ඉල්ලා ගැනීම සඳහා දින 70 ක අඛණ්ඩ විරෝධතාවයක් දියත් කළ අතර ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොවූ නිසා මෙම විරෝධතවය සංවිධානය කොට තිබුණි.
1995 වසරේදී කිළිනොච්චි මුලතිව් පළාත් වල යුද්ධය දරුණු වූ අවස්ථාවේදී මේ වැසියන් ආරක්ෂාව පතා වවුනියාවට පැමිණීමෙන් පසුව වවුනියාවේ ගම්මාන කීපයක් නිර්මාණය කොට එම වැසියන්ව එම ගම්මාන වල ස්ථිර ලෙස පදිංචි කළ අතර ශ්‍රී නගර් ග්‍රාමයද එවැනි ගම් වලින් එකකි.
වසර 26 ක් පමණ ඉක්ම ගොස් ඇතත් ඔවුන්ගේ ගම්මානයට අවශ්‍ය මූලික පහසුකම් පවා මේ වනතුරු ලබා දී නොමැති බව ශ්‍රී නගර් වැසියෝ විරෝධතාවයේදී කියා සිටියහ.