සූරියවැව නුවන් ජයසේකර –
වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 30,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා ඊයේ ( 24 ) නියෝග කළේය.
මෙලෙස සිරදඩුවම්, දඩ හා වන්දි නියම කෙරුණේ ආචාරීගම, අගුණුකොළපැලැස්ස පදිංචි රුවන් කුමාර නැමති 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකුටය.
චුදිත 2010 මාර්තු මස 01 දින හම්බන්තොට අධිකරණ බළසීමාවේ පිහිටි අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක රවටා අවස්ථා කිහිපයකදිම අපයෝජනයට ලක් කර තිබේ.
පසුව මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ මවට සැළවීමෙන් පසු දැරියගේ මව අගුණුකොළපැලැස්ස පොලිසියට පැමිණිළි කර තිබේ.
ඒ අනුව අගුණුකොළපැලැස්ස පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අගුණුකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා 04ක් යටතේ 2017.06.27 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.
ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයේදි පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනා 04ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා චුදිතට දඩුවම් නියම කෙරුණි.
මෙහිදි නීතිපති වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ නිමන්ත ජයවික්රම කරුණු දක්වමින් පැවසුවේ මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට අගතියටපත් දැරිය අවුරුදු 12ක අයෙකු බවත්, චුදිත 29 හැවිරිදි වියේ පසු වු අයෙකු බවත්ය.
ඒ අනුව මෙවැනි වැරදි වලදී චුදිතයෙකුට ලබා දෙන දඬුවම දෙස සමාජයාද බලා සිටින බවත්, එබැවින් සමාජයේ අන් පුද්ගලයන්ටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දඬුවමක් ලබා දෙන ලෙසත්ය.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා චුදිතට 1 හා 3 චෝදනාවන් සදහා වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර අදාල චෝදනා දෙක සදහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ නොගෙවයි නම් අමතරව මාස 06ක සිර දඩුවමක්ද නියම කෙරුණි.
එමෙන්ම 02 හා 04 චෝදනාවන් සදහා වසර 14 බැගින් වසර 28ක සිර දඩුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සඳහාද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ නොගෙවයි නම් වසර 01 බැගින් වසර දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි.
මීට අමතරව අගතියට පත් දැරිය සඳහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කළ අතර චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් පූර්වගාමී රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා සහ රජයේ අධිනීතීඥ නිමන්ත ජයවික්රම පැමිණිල්ල මෙහෙයවන ලදී.