සූරියවැව නුවන් ජයසේකර –
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් පහළ මත්තල ඇතුළු ගම් රැසකට වන අලින්ගෙන සිදුවන හානි වැළැක්විම සදහා ඉදිකර තිබූ විදුලි වැට ස්ථාන කිහිපයකින්ම කඩා කිසියම් පිරිසක් වැලි ජාවාරමක නිරතව සිටින බව වාර්තා වේ. .
ගම්වැසියන් පෙන්වා දෙන්නේ වන අලි ගම් වැදිම වැළැක්වීම සඳහා ගම ආවරණය වන පරිදි කිලෝ මිටර් 11ක් දිග විදුලි වැටක් ඉදිකර ඇති බවත් ඉන් වන අලි ගම්වැදීම වැළකි තිබූ බවත්ය.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළදී ප්‍රදේශයේ කිහිපදෙනෙකුගේද සහාය ඇතිව වැලි ජාවාරම් කරුවන් පිරිසක් විසින් විදුලිවැට ස්ථාන කිහිපයකින්ම පෙරලා දමා වැලි ජාවාරමේ නිරතව තිබේ.
ගම්වැසියන් සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිළධාරීන් දැනුවත් කිරීමෙන් පසු වනජීවී නිළධාරීන් පැමිණ බහුකාර්ය නිළධාරින්ගේද සහාය ඇතිව විදුලි වැට යළි ප්‍රතිසංස්කරණය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිළධාරින් විසින් ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබේ.
ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිමට ලුණුගම්වෙහෙර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.







