පන්න පන්නා රිවෝල්වරයකින් වෙඩි තබද්දී දිව ගොස් ජීවිතය බේරාගත් තරුණයෙක් සම්බන්ධව මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයෙන් අද (12) සවස වාර්තා වී තිබිණි.
පොලිසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් නිවසක් ඉදිරිපිට සිටි තරුණයෙකුට මෙසේ පන්න පන්නා වෙඩි තැබූ නමුත් එක් වෙඩි ප්‍රහාරයක්වත් ඔහුට වැදී නැති බවය.
අනතුරුව වෙඩික්කරුවන් පලා ගොස් තිබිණි. වෙඩි තැබීමට ඉලක්ක කරගෙන තිබුණේ අලිවත්තේ විරාජ් නැමැති තරුණයෙකි. තරුණයාගේ මව මාධ්‍යයට පවසා තිබුණේ පිටිපස්සෙන් පන්නාගෙන වෙඩි තැබූ නමුත් තම පුතාට වෙඩි නොවැදුන බවත්, ඔහුව නිවස තුළට ඇතුළු කරගැනීමෙන් පසු වෙඩික්කරුවන් නිවසටත් වෙඩි තැබූ බවත්ය.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව අලිවත්තේ නිවාස 04කට පිරිසක් විසින් පහර දී තිබිණි. ඒ මෙම වෙඩි තැබීම මෙහෙයවූ බවට එම නිවාස හිමිකරුවන් සම්බන්ධ බවට වූ සැකයක් මතය.
පොලිසිය පවසන්නේ මෙම වෙඩිතැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවූ බවය. පසුගිය දින කීපය තුළ මෝදර, මට්ටක්කුලිය අවට මෙවැනි වෙඩි තැබීමේ සිද්ධි කීපයක් වාර්තා වී තිබුණි.