හැටන් රංජිත් රාජපක්ෂ –
දිපවාලි උත්සවය සදහා නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇදුම් පැළදුම් රැගෙන යාමට බගවන්තලාවේ සිට හැටන් දක්වා පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බිය අරක්කු බෝතලයක් මිලදී ගැනීම සඳහා බස් රිය තුළදී සොරකම් කළ එම කාන්තාවගේ සැමියා අත් අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ (11) සමත් වී ඇත.
වාර්තාවවන පරිදි සිද්ධිය මෙසේය.
හැටන් සිට බගවන්තලාව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයට නැග ඇති කාන්තාවක් එකවරම බස් රථය තුළදි මුදල් පසුම්බිය පරික්ෂා කර ඇත. එහිදි මුදල් පසුම්බිය නොතිබුණු නිසා එම කාන්තාව හැටන් බස් නැවතුම්පොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ බස් රථය තුළදි කිසියම් පුද්ගලයෙකු තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ නැග සිටි සියළුම මගීන් බස්සවා පරික්ෂා කිරීමේදි කාන්තාවගේ අස්ථානගත වු මුදල් පසුම්බිය එම කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබි සොයාගෙන තිබේ.
මුදල් පසුම්බිය කාන්තාවට භාර දුන් පොලිස් නිලධාරීන් තම බිරියගේ මුදල් පසුම්බිය සොරා ගැනිම සම්බන්ධයෙන් එම පුද්ගලයාගෙන් කරුණු විමසා තිබේ.
ඔහු කියා ඇත්තේ මත්පැන් බෝතලයක් මිල දි ගැනීමට තමන් සතුව මුදල් නොමැති නිසා බස් රථය තුළදි බිරියගේ මුදල් පසුම්බිය සොරකම් කළ බවයි.
සැමියාට දැඩි ලෙස අවවාද කර පොලීසිය ඔහුව මුදා හැර ඇත.