ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයද සහිතව අද (26) නිකුත් කර තිබේ.
මෙතෙක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ , මුදල් ඇමතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවේ දී කෙටුම්පතක් පමණක් ඇති බව කියමින් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ එම වාර්තාව ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට අදාළ වත්මන් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ කොරියානු ජාතික චන්ග්‍යොන්ග් රී (Changyong Rhee) දිවයිනට පැමිණි අවස්ථාවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වියවුල්කාරී තත්ත්වය පිළිබඳ අදාළ මෙම වාර්තාවක් සැකසීමට තීරණය විය.
ඒ අනුව ජාත්‍යන්තර අරමුදල විසින් අදාළ වාර්තාව අද (26) දිනයේ දී නිකුත් කර ඇත.
මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලක් රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බවයි එහි සඳහන් වී ඇත.
එහිදී අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබේ. එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ද අයි.එම්.එෆ්. වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්ය.
අදාළ අයි.එම්.එෆ්. වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කර තිබේ.
එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි. කොවිඩ් ආර්ථිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑ අතර, සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුලු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇඳවැටී ඇති අතර, 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 119ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද දක්වයි.
ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹුණු ආකාරය වාර්තාව හෙළි කරයි.
විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම, විදේශ විනිමය (FX) හිඟයට හේතු වී ඇති අතර, නිල විනිමය අනුපාතිකය 2021 අප්‍රේල් සිට තත්‍යානුකූලව ස්ථාවර කෙරුණු බව එහි දක්වයි.
උද්ධමනය 2021 දෙසැම්බරයේ සිට ඉලක්කම් ද්විත්වයට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ආර්ථික උද්ධමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇති අයුරු එම වාර්තාව පෙන්වා දෙයි.
එම නිවේදනයේ සාරාංශය වන්නේ ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම ද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවය.
කෙසේ වෙතත් නුදුරු දිනක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සෙසු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කෙරෙන යෝජනාවලිය ද රැගෙන අමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි අයි. එම්. එෆ්. මූල්‍ය අරමුදල වෙත යාමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙරට යෝජනාවලිය ඇතුළත් වාර්තාව ද රැගෙන අයි.එම්.එෆ්. වෙත යාම කිසිසේත් ම ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සිදු කෙරෙන නිල සංචාරයක් නොවන අතර, එය හුදෙක් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුද සඳහා ලබාගත යුතු තාක්ෂණික උපදෙස් ලබා ගැනීම පිණිස සිදු කෙරෙන්නක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අයි.එම්.එෆ් වාර්තාව මෙතනින් බාගත කරගන්න







