අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරත තරුණ ආධුනික පොලිස් නිලධාරියෙක් සහ තවත් සිව් දෙනෙක් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී ඊයේ (22) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙම පොලිස් නිලධාරියාව ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ අරගලය ආරම්භ වූ වකවානුවේ සිට එහි විශේෂ රාජකාරියේ යෙදුන තමන් අරගලභූමියේදී දැන හඳුනාගත් තරුණයෙක් හරහා මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ බවය. වෙහෙස නොමැතිව වැඩ කිරීමට අයිස් භාවිතා කිරීමෙන් හැකිබව මේ තරුණයා පවසා ඇතැයි නිසා මුල් වතාවට මෙම පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය ගෙන ඇත.
පසුව මෙම නිලධාරියා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ රාජකාරි සඳහා යොදවා ඇත. මේ තරුණ නිලධාරියාගේ හැසිරීම අත්දැකීම් සහිත සෙසු නිලධාරීන්ට සැකයක් ඇති කර තිබේ. එසේම බැරැක්කයේ සිටින සෙසු නිලධාරීන්ගේ මුදල් නැතිවීමට පටන් ගෙන තිබීම නිසා මේ සැකය වඩාත් තීව්‍ර වී ඇත. මේ ඔස්සේ කරන ලද රහසිගත නිරීක්ෂණවල දී මෙම නිලධාරියා පෑලියගොඩ නිවසකට ගොස් අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකරන බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හෙළි කරගෙන තිබේ.
පොලීසිය පවසන්නේ ඉකුත් 18 වෙනිදා ඔහුට දින 05ක නිවාඩුවක් ලබාදී පස්සර යන ලෙස දැනුම්දී පොලීසියෙන් පිටත් කළ බවය. ගෙදර නොගිය මෙම නිලධාරියා ඊයේ (22 ) රාත්‍රී කාලයේ පෑලියගොඩ පරාක්‍රම මාවතේ නිවසකට පැමිණ තවත් සිව් දෙනෙක් සමඟ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
මේ වනවිට ඔහු තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැවී ඇතැයි පොලිසිය කියයි. මෙම පොලිස් නිලධාරියාව අද (23) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් 9000 ක දඩයක් නියමකර මුදා හැරිය බවත් පොලීසිය කියයි.
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් ඇතුළුව පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගෙවී ගිය දෙසතිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් පොලීසියට හසුවී තිබේ. පසුගිය වසර කීපය තුළ පොලිස් නිලධාරීන් පන්සියයකට අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතය කිරීමේ හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව පොලිසිය කියයි.