දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇති වූ ගංවතුර සහ නායයම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200ක් මේ වන විට ආරක්ෂිතව රඳවාගෙන තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මේ වන විට සහන සේවා කටයුතු ආරම්භ කර තිබේ.
ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට දන්වා ඇත. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබා දෙන බව පැවසීය. එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.
මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙසද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.
හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකිය.







