ගෑස් පිපිරීමකින් තම මව අනතුරට පත්වුවද ඒ පිළිබඳ විමර්ශනයට ආ පොලිස් නිලධාරීන් විසින් මෙම අනතුර ගෑස් හේතුවෙන් සිදුවූවක් යැයි නොසළකා හැරි බවක් පෙනෙන්නට තිබූ බව මියගිය මාතලේ උඩුපිහිල්ල පදිංචි කාන්තාවගේ බාලපුතු වන තරංග ගමගේ මහතා පවසයි.
“අම්මා නැති වුණාට පස්සේ මාතලේ පොලිසියෙන් ආවා ඇවිත් gas cooker තියෙන තැන බලලා බිත්ති කඩාගෙන ගිහින් නෑනෙ, වීදුරුවත් කැඩිලා නෑනේ, මේවා පුපුරලා ගිහින් නෑනෙ කියලා බලලා ගියා. ඊට පස්සේ පළාතට වත් ආවෙ නෑ” යැයි හෙතෙම කියාසිටියේය.
ගෑස් සිලින්ඩරයේ බටය පිපිරී යාමෙන් මාතලේ උඩුපිහිල්ලේ පදිංචිව සිටි වයස අවුරුදු හැට අටක් වන චන්ද්‍රා කුමාරි හේරත් මහත්මිය මියගියේ ඉකුත් දෙසැම්බර් 6 වැනි සඳුදාය.
ගෑස් සිලින්ඩරයේ බටය පුපුරා යෑමෙන් ඇය තුවාල ලැබුවේ ඉකුත් නොවැම්බර් 19 වන දා අලුයම ය.
ඇය දින පහළොවකට වැඩි කාලයක් මාතලේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිටියදී මියගියාය.
ඒ සම්බන්ධයෙන් ඇයගේ බාලපුතු වන තරංග ගමගේ මහතා සිදුවූ දෙය පිළිබඳ මෙසේ කියා සිටියේය.
“අම්මා එදා උදේ පාන්දර උයන්න ලෑස්ති වෙලා ගෑස් එක ඔන් කරලා තිබුනා. ගෑස් එකේ පිටිපස්සෙ බටේ පුපුරලා ගිහින් එයින් ආපු ගෑස් අම්මගේ ඇඟේ තැවරිලා පිච්චිලා ගිහින් තිබුණා.
එයින් ඇයගේ දෑත් දෙපා සහ පපු ප්‍රදේශයට බරපතල පිළිස්සුම් තුවාල ඇතිවී තිබුණා. එම පිලිස්සුම් තුවාල දිනෙන් දින වර්ධනය වී අභ්‍යන්තර ස්නායු පද්ධතියට හානි වීමේ හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබෙනවා කියලා ඉස්පිරිතාලෙන් කිව්වා.
දානෙ තිබුනේ අද. මේක ඇත්තටම මිනිමැරුවා වගේ වැඩක්. මමත් අයියත් අක්කත් බලාගෙන අම්මා හිටියේ හරිම සතුටින්. එහෙම හිටපු අම්මාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ. කාගෙවත් තියන නොසැලකිලිමත්කමකට අපේ අම්මා ජීවිතෙන් වන්දි ගෙව්වා.
දැන් තාත්ත ඉන්නේ ඔහේ බලාගත්තු අත බලාගෙන. අම්මා නැති වුණාට පස්සේ මාතලේ පොලිසියෙන් ආවා ඇවිත් gas cooker තියෙන තැන බලලා බිත්ති කඩාගෙන ගිහින් නෑනෙ, වීදුරුවත් කැඩිලා නෑනේ, මේවා පුපුරලා ගිහින් නෑනෙ කියලා බලලා ගියා. ඊට පස්සේ පළාතට වත් ආවෙ නෑ. එයාලා හිතාගෙන ඉන්නේ අම්මා මැරුණේ gas එක පුපුරපු හින්ද නෙවෙයි කියලා වෙන්න ඇති. නමුත් අපේ අම්මා අපිව දාලා ගියේ මේ හදිසියේ ගෑස් එලියට ඇවිත් පුපුරලා ගිය නිසා.
අපේ ගෙදර ගෑස් ලිප තියෙන්න බිත්ති දෙකක් අතරින් වීදුරු ජනෙල් අල්මාරි කබඩ් කඩාගෙන හීරිලා යන්ඩ දේවල් එතැන නෑ. හානි වෙන්න තිබ්බ ලොකුම දේට තමයි මේ හානිය වෙලා තියෙන්නේ. ඒ අපේ අම්මගේ ජීවිතේ. මේවට වග කියන්න ඕනේ කවුද කියලා මම මේ සමාජයෙන් අහනවා.”