මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක –
අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනමක් පනවා තිබිය දී එම විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ ලේඛනයක් සකස්කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකකාධිකාරීවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) රාත්‍රියේ දී අත් අඩංගුවට ගනු ලැබුවාය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරියෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව කොට්ම මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකුට එරෙහිව පැවති නඩුවක විභාගය අවසන් කිරිමෙන් අනතුරුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයාය ඔහුට විදේශ ගමන් තහනමක් පනවා තිබිණි.
මහේස්ත්‍රාත්වරයා අදාල විත්තිකරුට විදේශ ගමන් තහනමක් පනවා තිබිය දී එම විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය ව්‍යාජ ලේඛනයන් සකස් කර ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කළ බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේම නිලධාරියෙකු රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දැනුම්වත් කිරීමෙන් අනතුරුව ලේඛකාධිකාරීවරිය අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය.
විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය. – ලංකාදීප